දුම්රිය ප්රවාහන පහසුකම් භාවිතා කරන මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ටත්, ඔක්තෝබර් 01 වැනිදා සිට සිය මාසික දුම්රිය වාර ප්රවේශපත් මාර්ගගතව (Online) ලබාගැනීමේ පහසුකම හිමි වී තිබේ.
ඒ අනුව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති seatreservation.railway.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මෙම පහසුකම ලබාගත හැකිය.
ව්යාපෘතිය පුළුල් කිරීම සහ සමාරම්භය
මෙතෙක් මෙම මාර්ගගත පහසුකම රාජ්ය අංශයේ නිලධාරීන් සඳහා ක්රියාත්මක වූ අතර එය පෞද්ගලික අංශයටද පුළුල් කිරීමේ නිල වැඩසටහන අද (08) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්රයේ නෙළුම් ශාලාවේදී පැවැත්විණි.
රාජ්ය නිලධාරීන් සඳහා ආයතන සංග්රහයේ XVII පරිච්ඡේදය යටතේ ලබාදෙන අනුග්රහ දුම්රිය වාර ප්රවේශපත් මාර්ගගතව නිකුත් කිරීම 2026.06.09 දින සිට ක්රියාත්මක කරනු ලබයි.
නව ක්රමවේදයේ පහසුව
මෙතෙක් දුම්රිය මාසික වාර ප්රවේශපතක් ලබාගැනීම සඳහා ප්රවේශපත් හැඳුනුම්පතක් සකස් කරගැනීමට අයදුම්පත්, ඡායාරූප, පදිංචිය තහවුරු කිරීමේ ලේඛන සහ ජාතික හැඳුනුම්පතේ පිටපත් ආදිය ඉදිරිපත් කිරීමට සිදුවූ අතර නියමිත දින හා වේලාවන් තුළ දුම්රිය ස්ථානය වෙත පැමිණ එම කටයුතු සිදුකරගැනීමට මගීන්ට සිදුවිය.
එම දුෂ්කරතා අවම කරමින් හඳුන්වා දෙන නව ක්රමවේදය යටතේ මගී අනන්යතාව තහවුරු කර පරිශීලක ගිණුම සත්යාපනය කිරීමෙන් අනතුරුව මාසික දුම්රිය වාර ප්රවේශපත මාර්ගගතව ලබාගත හැක.
පරිශීලක ගිණුම් සත්යාපනය කිරීමේ කටයුතු, ආසන වෙන්කිරීමේ පහසුකම පවතින ඕනෑම දුම්රිය ස්ථානයකින් සිදුකරගත හැකිය.
සංවිධානය සහ සහභාගීත්වය
මෙම වැඩසටහන ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශය, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්යාංශය, ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ SLT-MOBITEL ඒකාබද්ධව ක්රියාත්මක කරනු ලබයි.
ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාද සහභාගී විය.
Comments
Moderated before publishing. Your email stays private.