වෙසක් උත්සවයට පසුව ශ්රී ලාංකේය බෞද්ධ ජනතාව මහත් භක්තියෙන් සමරන පොසොන් මංගල්යයේ ප්රධාන රාජ්ය උත්සවය අනුරාධපුරය අටමස්ථානය, මිහින්තලය පුදබිම සහ තන්තිරිමලය රජමහ විහාරස්ථානය කේන්ද්ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.
ඊට සමගාමීව දිවයින පුරා බෞද්ධ ආගමික වතාවත්, තොරණ, පහන් කුඩු ප්රදර්ශන, පොසොන් කලාප සහ දන්සැල් සංවිධානය කර ඇති බැවින් පෙර වර්ෂවලදී මෙන්ම මෙවරද ඊට විශාල බැතිමතුන් පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයිනේ සියලුම පොලිස් බල ප්රදේශ ආවරණය වන පරිදි විධිමත් ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් ආරක්ෂාව සහ වැටලීම්
සෑම පොලිස් වසමකම දිවා/රාත්රී ජංගම සංචාර, පාමුර, පාපැදි, බිට්ටු සහ යතුරුපැදි සංචාර ක්රියාත්මක කෙරෙන අතර අධික රථවාහන ගහනයක් ඇති ස්ථාන සඳහා විශේෂ රථවාහන නිලධාරීන් යොදවනු ඇත.
මීට අමතරව බුද්ධි නිලධාරීන් යොදවා නීති විරෝධී ක්රියා සහ මත්ද්රව්ය වැටලීම් සිදු කිරීමට ද කටයුතු යොදා තිබේ. බීමත්ව, අධික වේගයෙන් සහ අපරීක්ෂාකාරී ලෙස ධාවනය කරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරයි.
පොසොන් සමයේ පූජනීයත්වයට හානි වන ලෙස හෝ බැතිමතුන්ට පීඩාකාරී වන ලෙස හැසිරෙන පුද්ගලයින් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් පොලිසිය නිරන්තර අවධානයෙන් පසුවන බව දන්වා සිටියි.
පොලිසියේ ඉල්ලීම්
පොසොන් උත්සවය සාමකාමීව සැමරීම සඳහා පහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
- ශබ්ද විකාශන සහ නලා වාදනය
- වැව් සහ ජලාශවල දිය නෑම
- දන්සල් කළමනාකරණය
- වාහන නැවැත්වීම
- අපද්රව්ය බැහැර කිරීම
- පුද්ගලික ආරක්ෂාව
හදිසි තොරතුරු දැනුම් දීම
මාර්ගවල අනතුරු සිදුවන අයුරින් අපරීක්ෂාකාරී ලෙස රිය පදවන රියදුරන් දුටුවහොත් ඒ පිළිබඳ වීඩියෝ දර්ශන 070-4755600 යන වට්ස් ඇප් අංකයට යොමු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඕනෑම හදිසි අවස්ථාවකදී පොලිසියේ සහය ලබා ගැනීම සඳහා 118 හෝ 119 යන ක්ෂණික දුරකථන අංක අමතා ශ්රී ලංකා පොලිසිය දැනුවත් කළ හැකිය.
ඉහත උපදෙස් මාලාවට ගරු කරමින් සාමකාමී සහ පින්බර පොසොන් සමයක් සැමරීමට එක්වන ලෙස ශ්රී ලංකා පොලිසිය සමස්ත මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Comments
Moderated before publishing. Your email stays private.