අධ්‍යාපනික ද්‍රව්‍ය සිසු දරුවන්ට සහ මහජනතාවට වඩාත් දැරිය හැකි මිලකට ලබාදීමේ අරමුණින්, 2024 ජනවාරි මාසයේ සිට මුද්‍රිත පොත් සඳහා පනවා තිබූ එකතු කළ අගය මත වූ බද්ද (VAT) සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2027 අයවැය යෝජනා මඟින් රජය පියවර ගෙන තිබේ.
මෙම නව බදු සංශෝධනය යටතේ පාසල් අභ්‍යාස පොත්, පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා පින්තූර සහ වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන ඇතුළු අනෙකුත් සියලුම මුද්‍රිත පොත් වැට් බද්දෙන් පූර්ණ ලෙස නිදහස් කෙරෙනු ඇත.
සිනමා ප්‍රවේශපත්‍ර වැට් බදු ගණනය කිරීමේ ක්‍රමය සංශෝධනය වෙයි
දේශීය සිනමා කර්මාන්තය නඟාසිටුවීම අරමුණු කරගනිමින් සිනමා ප්‍රවේශපත්‍ර සඳහා වැට් (VAT) බදු අයකිරීමේ පදනමද 2027 අයවැයෙන් සංශෝධනය කර තිබේ.
මෙතෙක් පැවති ප්‍රවේශපත්‍රයේ සම්පූර්ණ වටිනාකම මත බදු අයකිරීමේ ක්‍රමවේදය වෙනුවට, චිත්‍රපට නිෂ්පාදකයින්, බෙදාහරින්නන්, ජාතික චිත්‍රපට සංස්ථාව සහ සිනමාහල් හිමිකරුවන් යන එක් එක් පාර්ශ්වයට හිමිවන ප්‍රවේශපත්‍ර ආදායම් කොටස මත පමණක් වැට් බදු අය කරන පරිදි මෙම නව ක්‍රමවේදය සකස් කර ඇත.
අපනයනකරුවන්ට වේගවත් වැට් සහන සහ විනිමය අනුපාත පහසුකම්
අපනයන ක්ෂේත්රය දිරිමත් කිරීම සහ බදු අනුකූලතා ක්‍රියාවලිය වඩාත් සරල කිරීම වෙනුවෙන්ද වැදගත් තීරණ දෙකක් මෙවර අයවැයට ඇතුළත් කර තිබේ.
ඒ අනුව අලුතින් වැට් බදු ලියාපදිංචිය ලබාගන්නා අපනයනකරුවන් “සුදුසුකම් ලත් අපනයනකරුවන්” ලෙස පිළිගැනීම සඳහා මෙතෙක් පැවති වසරක කාල සීමාව මාස හයක් දක්වා අඩු කර ඇති අතර පසුගිය මාස හය තුළ සිය පිරිවැටුමෙන් 80%කට වඩා අපනයනයන් මඟින් උපයා ඇති ව්‍යාපාරිකයින්ට එම වරප්‍රසාදය කඩිනමින් හිමිවේ.
මීට අමතරව විදේශ ව්‍යවහාර මුදල් සැපයුම් මත වැට් බදු ගණනය කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ දර්ශක විනිමය අනුපාතය භාවිත කිරීමටද අයවැය මඟින් යෝජනා කර ඇත.
Comments
Moderated before publishing. Your email stays private.