Swipe left or right to navigate stories
පාර්ලිමේන්තුවේ කෝටි ගණනක මුදල් අවභාවිතයක් විගණනයෙන් හෙළිවෙයි

පාර්ලිමේන්තුවේ කෝටි ගණනක මුදල් අවභාවිතයක් විගණනයෙන් හෙළිවෙයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිදුව ඇති දැවැන්ත මුදල් අවභාවිතයන්, අනුමත නොකළ වරප්‍රසාද ලබාදීම් සහ නීතිරීති මගහැරීම් රාශියක් විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද විශේෂ විගණනයකින් හෙළි වී තිබේ.

ජාතික ජන බලවේග රජය පත්වීමෙන් පසුව 8 වැනි සහ 9 වැනි පාර්ලිමේන්තු තුළ සිදුවූ බව කියන සැකකටයුතු වියදම් සම්බන්ධයෙන් නැගුණු චෝදනා පදනම් කරගනිමින්, කථානායක ආචාර්ය ජගති වික්‍රමරත්න මහතා 2025 අප්‍රේල් මාසයේදී කරන ලද ඉල්ලීමකට අනුව මෙම විශේෂ විගණනය සිදුකර ඇත.



අධික ඉන්ධන සහ වැටුප් වියදම්

විගණන වාර්තාවට අනුව හිටපු කථානායකවරයෙකුගේ ඉන්ධන භාවිතය 2023 වසරේදී මසකට ලීටර් 3,994 ක් සහ 2024 වසරේදී මසකට ලීටර් 6,122 ක් ලෙස සටහන් වී ඇත. මෙය 2022 වසරට වඩා පිළිවෙලින් 66% ක සහ 155% ක දැවැන්ත මාසික ඉහළ යාමක් වන අතර ඒ සඳහා 2023 දී රුපියල් මිලියන 19.37 ක් සහ 2024 දී රුපියල් මිලියන 26.04 ක් වැය කර තිබේ.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය කෙරෙන පූර්ණ අනුමැතියකින් තොරව පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ මූලික වේතනය වසර 22 ක කාලයක් තුළ 800% කින් ඉහළ දමා ඇත.

මීට අමතරව මහලේකම්වරයා 2022 සිට 2024 දක්වා කාලය තුළ කිසිදු සීමාවකින් තොරව නිල රථ දෙකක් සඳහා රුපියල් මිලියන 6.07 ක් වටිනා ඉන්ධන ලීටර් 15,063 ක් භාවිත කර ඇති අතර මෙය අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ වසරක ඉන්ධන සීමාව ලීටර් 2,300 කින් ඉක්මවා යාමකි.



ජාතික තීන් මගහැරීම

2024 අංක 44 දරන රාජ්‍ය මුදල් කළමනාකරණ පනත අනුගමනය කිරීම වෙනුවට, පාර්ලිමේන්තුව 1953 අංක 09 දරන වසර 70 ක් පැරණි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත භාවිත කරමින් අනුමත නොකළ වරප්‍රසාද සහ අතිරේක වැටුප් වර්ධක ලබා දී ඇති බව විගණනයේදී අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් කාලය ඉක්මවා ගිය මෙම 1953 පනත වහාම සංශෝධනය කිරීමට හෝ අහෝසි කිරීමට විගණන වාර්තාව මගින් දැඩි ලෙස නිර්දේශ කර තිබේ.



කෝටි ගණනක විදේශ සංචාර

2016 සහ 2024 අතර කාලය තුළ පාර්ලිමේන්තුවට අනුබද්ධ ආයතන හරහා මන්ත්‍රීවරුන් 451 දෙනෙකු විදේශ සංචාර සඳහා යැවීමට රුපියල් මිලියන 208.9 ක් වැය කර ඇත. මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයින් 115 දෙනෙකු ජාත්‍යන්තර සංචාර 83 කට යැවීම සඳහා තවත් රුපියල් මිලියන 56.9 ක් වැය කර තිබේ.

සංචාර නිමවා පැමිණෙන නියෝජිතයින් වාර්තා ඉදිරිපත් කිරීම හෝ ලබාගත් දැනුම බෙදාගැනීම අනිවාර්ය කරන ජාතික පරිපාලන චක්‍රලේඛ පාර්ලිමේන්තුව මගින් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බවත්, එමගින් මෙම විශාල මුදල් කන්දරාව කිසිදු අධීක්ෂණයකින් තොරව වැය කර ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem