මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වී නියම වූ රුපියල් මිලියන 25ක (ලක්ෂ 250ක) දඩ මුදලින් ඉතිරිව පවතින රුපියල් ලක්ෂ 90ක මුදල ගෙවීම සඳහා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට ලබන වසරේ (2027) පෙබරවාරි 01 වැනිදා දක්වා කල් ලබාදීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කළේය.
අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී, නියමිත දඩ මුදලින් ඉතිරි කොටස ගෙවීම අද දිනට නියමිතව තිබුණද, ඒ සඳහා තවදුරටත් කල් ලබාදෙන ලෙස ප්‍රසන්න රණතුංග මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා නඩුව යළි කැඳවීම ලබන වසරේ පෙබරවාරි 01 දක්වා කල් තැබීය.
අභියාචනය ඉල්ලා අස්කර ගැනීම සහ දඩය ගෙවීමේ එකඟතාව
මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වූ එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් මහතාගෙන් 2015 වසරේදී කප්පම් ලබාගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා පැවරූ මෙම නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණය විසින් 2022 ජූනි 06 වැනිදා ප්‍රකාශයට පත් කරනු ලැබීය.
එහිදී වරදකරු බවට පත් වූ ප්‍රසන්න රණතුංගට වසර 5කට අත්හිටවූ වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, රුපියල් මිලියන 25ක දඩයක් (නොගෙවන්නේ නම් වසර 9ක සිර දඬුවමක්) සහ අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවීමට නියම කර තිබුණි.
එම තීන්දුවට එරෙහිව හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණය හමුවේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ඇපෑලක් ගොනු කළද, පසුව තම සේවාදායකයාට දඩ සහ වන්දි මුදල් ගෙවීමට සහන කාලයක් ලබා දෙන්නේ නම් අදාළ අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරුන් ප්‍රකාශ කළේය.
ඊට නීතිපති පාර්ශ්වයෙන් හෝ අගතියට පත් පාර්ශ්වයෙන් විරෝධයක් එල්ල නොවූ බැවින් අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර හිමිවිය.
මිලියන 25න් තවමත් ඉතිරි ලක්ෂ 90යි
අදාළ නියෝගයට අනුව නියමිත රුපියල් මිලියන 25ක දැවැන්ත දඩ මුදලින් බහුතරයක් මේ වන විටත් ගෙවා අවසන් කර ඇති අතර ගෙවීමට ඉතිරිව පවතින්නේ රුපියල් ලක්ෂ 90ක මුදලක් පමණි.
එම ඉතිරි මුදල පියවීම සඳහා මෙලෙස ලබන වසරේ පෙබරවාරි 01 දක්වා අධිකරණයෙන් අවසන් වශයෙන් සහන කාලයක් හිමිව තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.