දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්ය ප්රසන්න රණතුංග මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (14) නියෝග කළේය.
හිටපු අමාත්යවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
ආරක්ෂක පාර්ශවයේ ඉල්ලීම
සැකකාර හිටපු අමාත්යවරයා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට පවතින පෞද්ගලික අවශ්යතාවයක් මත විදේශගත වීමට සිදුව ඇති බැවින් ජූලි මස 14 වැනිදා සිට අගෝස්තු මස 2 වැනිදා දක්වා කාලය තුළ ක්රියාත්මක වන පරිදි මෙම විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසය.
එහිදී මහේස්ත්රාත්වරයා සඳහන් කළේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විරෝධතාවක් පවතින්නේද යන්න සලකා බලා අද (14) දින නියෝගය ප්රකාශයට පත් කරන බව පසුගිය නඩු දිනයේදී දැනුම් දී තිබූ බවය.
චෝදනාවල පසුබිම
ප්රසන්න රණතුංග මහතා සංචාරක අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ එම අමාත්යාංශය යටතේ පැවති ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්ය ආයතන හතරක සේවකයන් සඳහා ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්ය රක්ෂණාවරණ ලබාගෙන තිබුණි.
එහිදී රක්ෂණ තැරැව්කාර සමාගමකට අයුතු වාසියක් අත්කර දෙමින් ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72 ක මූල්ය පාඩුවක් සිදු කළ බවට අල්ලස් කොමිසම විසින් චෝදනා නඟා තිබේ.
මෙම සිද්ධියට අදාළව ප්රසන්න රණතුංග මහතා මීට පෙර අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබුණි.
Comments
Moderated before publishing. Your email stays private.