Swipe left or right to navigate stories
ප්‍රවීණ ගායිකා ආචාර්ය නන්දා මාලිනිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායිකා ආචාර්ය නන්දා මාලිනිය අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අද්විතීය සලකුණක් බවට මෙන්ම ජාතියේ ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය නන්දා මාලිනී මහත්මිය අද (20) අභවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 82 වැනි වියේ පසුවූවාය.

දශක හතකට ආසන්න කාලයක් පුරා දිවෙන අසමසම සංගීත චාරිකාවක නිරත වූ ඇය, ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේම හදවත් වැළඳගත් කාලානුරූපී නිර්මාණ රැසක් දායාද කරමින් සදා අමරණීය සංස්කෘතික උරුමයක් ඉතිරි කර තබා ඇත.



අසමසම ගමන් මග

1943 අගෝස්තු 23 වැනි දින උපත ලද නන්දා මාලනී මහත්මිය, කරුණාරත්න අබේසේකරයන්ගේ ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 'ළමා මණ්ඩපය' වැඩසටහන හරහා 'බුදු සාදු' ගීතය ගයමින් සිය සංගීත ගමන ආරම්භ කළාය.

පසුව පණ්ඩිත් අමරදේවයන්ගේ ඇරයුමෙන් 'රන්මුතු දූව' චිත්‍රපටයට 'ගලන ගඟකි ජීවිතේ' ගීතය ගයමින් සිනමා පසුබිම් ගායනයට පිවිසි ඇය, ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් විශාරද උපාධියද ලබා ගත්තාය.

පසුව ඇය 'පවන', 'සත්‍යයේ ගීතය', 'හේමන්තයේදී', 'සාදු නාද' වැනි ප්‍රසංග සහ ගී එකතු හරහා ඇය ජනප්‍රියත්වයේ ඉහළටම පැමිණියාය.



සමාජ-සංස්කෘතික පදනම

මිනිස් ජීවිතයේ යථාර්ථවාදී අත්දැකීම්, ප්‍රේමය, විරහව මෙන්ම සමාජ-දේශපාලනික සහ සංස්කෘතික තේමාවන් ඔස්සේ නිර්මාණය වූ ඇගේ හඬ පෞරුෂය ශ්‍රී ලාංකේය ගීත කලා ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කළේය.

සරසවිය, ජනාධිපති සහ රාජ්‍ය සංගීත සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇයට, දේශීය සංගීතයට කළ අනුපමේය මෙහෙවර වෙනුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මගින් සම්මානනීය ආචාර්ය උපාධියද පිරිනමන ලදී.

ඇගේ අභාවය පිළිබඳ පුවත සැලවීමත් සමඟ කලාකරුවන්, දේශපාලනඥයන් සහ සමස්ත ලාංකේය ජනතාව සිය කණගාටුව පල කරමින් සිටින අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පවුලේ සමාජිකයන් විසින් ඉදිරියේදී මාධ්‍ය වෙත දැනුම් දීමට නියමිතය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem