අගෝස්තු මස 26 සහ 27 යන නිවාඩු දින දෙක තුළ මෙරට අධිවේගී මාර්ග පද්ධතිය භාවිත කළ වාහනවලින් රුපියල් දොළොස් කෝටි හතළිස්පස් ලක්ෂ හැත්තෑ හතර දහස් නමසිය හතළිස්පහක (රු. 124,574,925) ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
නිවාඩු සමය සහ මහනුවර ඇසළ පෙරහැර මෙන්ම ප්රදේශ රැසක පැවැති ආගමික සහ සංස්කෘතික උත්සව හේතුවෙන් ගම්බිම් බලා යාම සහ විනෝද ගමන් සඳහා විශාල පිරිසක් අධිවේගී මාර්ග භාවිත කිරීම මෙම ඉහළ ආදායමට ප්රධාන හේතුව වී තිබේ.
ආදායම් වාර්තාව
මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු අංශය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව එම දින දෙක තුළ සමස්ත අධිවේගී මාර්ග ජාලය තුළ ධාවනය වූ මුළු වාහන සංඛ්යාව 325,316 කි.
අගෝස්තු 26 වැනිදා වාහන 163,763 ක් අධිවේගී මාර්ග වෙත ඇතුළු වී ඇති අතර එදින ලබා ඇති මුළු ආදායම රුපියල් 60,409,995 කි.
අගෝස්තු 27 වැනාදා අධිවේගී මාර්ග භාවිත කළ වාහන සංඛ්යාව 161,553 ක් වන අතර එදින උපයා ඇති ආදායම රුපියල් 64,164,930 දක්වා ඉහළ ගොස් ඇත.
වැඩිම තදබදය
මෙම දින දෙක තුළ වැඩිම වාහන සංඛ්යාවක් ධාවනය වී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගය ඔස්සේ බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
විශේෂයෙන්ම කඩවත්, කොට්ටාව, කඩුවෙල, සහ ගාලු/මාතර දෙසට දිවෙන පිවිසුම් මෙන්ම කටුනායක අධිවේගී මාර්ග පිවිසුම් අසලද යම් රථවාහන තදබදයක් දක්නට ලැබුණු අතර මුදල් අයකිරීම් කඩිනම් කිරීම සඳහා අමතර නිලධාරීන් යෙදවීමටද පියවරගෙන තිබුණි.
වාහන ගමනාගමනය ඉහළ යාම හේතුවෙන් සිදුවිය හැකි රථවාහන අනතුරු අවම කරගැනීම සඳහා අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසය විසින් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් සහ ජංගම සංචාරද ක්රියාත්මක කර තිබුණි.
Comments
Moderated before publishing. Your email stays private.