පසුගිය දින කිහිපය පුරා අක්‍රිය වී තිබූ නොරොච්චෝල ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට (22) දිනයේ සිට නැවත ආරම්භ කිරීමට හැකිවනු ඇති බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම පවසයි.
පද්ධතියේ හදිසියේ ඇති වූ අසමතුලිතතාවයක් මුල් කරගනිමින් පසුගිය සෙනසුරාදා සමස්ත දිවයිනටම විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම ඇණහිටි අතර එහි බලපෑමක් ලෙස නොරොච්චෝල බලාගාරයේ කටයුතුද අඩපණ විය.
අදත් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි – හෙට සිට සහනයක්
බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රිය වීම හේතුවෙන් මතුවූ විදුලි හිඟය කළමනාකරණය කරගැනීම සඳහා ඊයේ (20) සහ පෙරේදා (19) යන දෙදින තුළ දිවයින පුරා සැලසුම් සහගත විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කෙරිණි.
එම විදුලි සීමා කිරීම් අද (21) දිනයේදීත් පූර්ව දැනුම්දීම්වලට අනුකූලව ඒ ආකාරයෙන්ම සිදු කෙරෙනු ඇත.
කෙසේ වෙතත් හෙට (22) වන විට නොරොච්චෝල බලාගාරයේ නිෂ්පාදනය කෙරෙන විදුලිය නැවත ජාතික පද්ධතියට එක් කිරීමට හැකියාව පවතින බැවින් හෙට (22) සිට ඉදිරියට නැවත විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇතැයි ජාතික පද්ධති මෙහෙයුම් සමාගම වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.
Comments
Moderated before publishing. Your email stays private.