Swipe left or right to navigate stories
නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදා මෙහෙයුම් යටතේ යළි අරම්භ කරයි

නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදා මෙහෙයුම් යටතේ යළි අරම්භ කරයි

භාවිතයට නොගෙන අතහැර දමා තිබූ සහ ඌණ උපයෝජිත තත්ත්වයේ පැවති රජයේ දේපළ උපරිම ඵලදායීතාවකින් යුතුව යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පූර්ණ මෙහෙයුම් දායකත්වයෙන් නවීකරණය කරන ලද මාලඹේ පිහිටි "වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ රෝහල" ඊයේ (09) නිල වශයෙන් මහජන අයිතියට පත් කෙරිණි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ආරාධනයෙන් පැවති මෙම සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සමරු ඵලකය නිරාවරණය කර රෝහල විවෘත කරන ලදී.



භාණ්ඩාගාරයේ හිමිකාරීත්වය සහ ගුවන් හමුදා පාලනයෙන් යුත් ‘දෙමුහුන්’ ආකෘතියක්

2017 වසරේදී රජයට පවරා ගැනීමෙන් පසු පසුගිය වසර අටක් මුළුල්ලේ පැවති අවිනිශ්චිත සහ තාවකාලික පාලන ක්‍රමය වෙනුවට මෙම රෝහලේ පාලනය සඳහා නව දෙමුහුන් මෙහෙයුම් රාමුවක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිවීමෙන් පසු ක්‍රියාත්මක වූ මෙම ක්‍රමවේදයේදී රෝහලේ පූර්ණ හිමිකාරීත්වය මහා භාණ්ඩාගාරය සතු සමාගමක් යටතට පැවරා තිබේ.

රෝහලේ දෛනික පරිපාලන සහ වෛද්‍ය මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරා ඇති අතර රෝහලේ මෙහෙයුම් කටයුතු ප්‍රධාන විධායක නිලධාරී එයාර් කොමදෝරු නීලුකා අබේසේකර මහත්මියගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ඇත.



ගුවන් හමුදාවේ දිගුකාලීන සිහිනය සැබෑ වෙමින් සාමාන්‍ය ජනතාවටත් විවෘත වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂිත රෝහලක අවශ්‍යතාව දිගු කලක සිට පැවති අතර මෙම පියවර හරහා එම අවශ්‍යතාවද සම්පූර්ණ වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම ගුවන් හමුදාවේ දැඩි විනය, ඉහළ වෘත්තීය ප්‍රමිතීන් සහ කාර්යක්ෂම පරිපාලනය යටතේ ගුවන් හමුදා රණවිරුවන්ට අමතරව සාමාන්‍ය මහජනතාවටද ඉහළ තත්ත්වයේ විශේෂඥ ප්‍රතිකාර පහසුකම් මෙහිදී ලබාදීමට සැලසුම් කර ඇත.

විශේෂයෙන් ලක්ෂ 50කට අධික ජනගහනයක් වෙසෙන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල, විශේෂයෙන් කඩුවෙල, අතුරුගිරිය සහ අවිස්සාවේල්ල අවට ප්‍රදේශවාසීන්ට මෙතෙක් පැවති තෘතීයික මට්ටමේ රෝහල් පහසුකම් හිඟයට මෙමඟින් ස්ථිර විසඳුමක් හිමිවනු ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem