ශ්රී ලංකාව ගෝලීය ඩිජිටල් සිතියමේ ප්රමුඛතම කේන්ද්රස්ථානයක් බවට පත්කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ පේපෑල් සේවාව මෙරටට හඳුන්වා දීමේ මූලික කටයුතු සහ තාක්ෂණික සාකච්ඡා මේ වන විට ඉතා සාර්ථක මට්ටමින් සිදුවෙමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්යාංශය පවසයි.
ඒ් අනුව නුදුරේදීම මෙම සේවාව ශ්රී ලංකාවට හඳුන්වාදීමට නියමිත අතර ඒ් තුළින් ඩිජිටල් ව්යවසායකයන්ට සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට නව දොරටු රැසක් විවර කර දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
මේ හරහා නිදහස් වෘත්තිකයන් සවිබල ගැන්වෙනු ඇති අතර ගෝලීය වෙළඳපොළට තම සේවාවන් සපයන තරුණ පරපුරට එමගින් උපයන ආදායම සෘජුව හා සුරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමට පවතින බාධාවන් ඉවත් වන බවද අමාත්යාංශය සඳහන් කළේය.
අමාත්යංශ නිවේදනය
මෙමගින් විදේශ විනිමය උත්පාදනය හරහා මෙරට තොරතුරු තාක්ෂණ අපනයන ක්ෂේත්රයෙන් ලැබෙන විදේශ විනිමය ප්රමාණය ඉහළ නැංවීමට සෘජු දායකත්වයක් ලැබෙනු ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එමෙන්ම කුඩා හා මධ්ය පරිමාණ ඩිජිටල් ව්යවසායකයින්ට ලොව ඕනෑම රටක පාරිභෝගිකයන් වෙත තම නිෂ්පාදන පහසුවෙන් අලෙවි කිරීමට අවස්ථාව සැලසීමත්, මෙරට මුදල් රහිත ගනුදෙනු ප්රචලිත කිරීමට හා මූල්ය තාක්ෂණ ක්ෂේත්රයේ නවෝත්පාදන දිරිමත් කිරීමට දායක වීමත් මෙම සේවාවේ තවත් අරමුණක් බව අමාත්යංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අමාත්යාංශයේ අරමුණ වන්නේ කිසිදු තාක්ෂණික බාධාවකින් තොරව ජාත්යන්තර ප්රජාව සමග ගනුදෙනු කළ හැකි "ඩිජිටල් ලෙස සවිබල ගැන්වුණු ශ්රී ලංකාවක්" නිර්මාණය කිරීම බව එම නිවේදනය මගින් තහවුරු කර ඇත.
මාධ්ය වාර්තාකරණය
පේපෑල් සේවාව ලබන මෙම මස 15 වැනිදා සිට නිල වශයෙන් ශ්රී ලංකාව තුළ ආරම්භ කරන බව ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව ඊයේ (7) වාර්තා කර සිටියේය.
මෙම සේවාව මෙරටට හඳුන්වා දීම සම්බන්ධයෙන් දේශීය පාර්ශවකරුවන් සමග සාකච්ඡා කිරීම සඳහා පේපෑල් නිලධාරීන් පසුගිය මාසයේදී ශ්රී ලංකාවට පැමිණි බවද විවිධ මාධ්යයන් වාර්තා කර තිබිණ.
පේපෑල් සේවාව මෙරටට පූර්ණ වශයෙන් ලබාදෙන ලෙස දිගු කලක් තිස්සේ ඉල්ලා සිටි නිදහස් වෘත්තිකයන්, ඩිජිටල් ව්යවසායකයන් සහ අන්තර්ජාල ව්යාපාරිකයන් අතර එම මාධ්ය වාර්තා දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වී ඇත.
පේපෑල් සේවාව
පේපෑල් යනු අන්තර්ජාලය හරහා ආරක්ෂිතව මුදල් ගෙවීම් කිරීමට සහ ලබාගැනීමට ලොව පුරා බහුලවම භාවිතා වන විද්යුත් ගෙවීම් පද්ධතියකි. මෙය ඔබගේ භෞතික මුදල් පසුම්බිය වෙනුවට අන්තර්ජාලය තුළ භාවිතා කළ හැකි ඩිජිටල් මුදල් පසුම්බියක් ලෙස හැඳින්විය හැකිය.
ශ්රී ලාංකිකයන්ට වසර ගණනාවක සිට පේපෑල් හරහා ගෙවීම් කිරීමේ හැකියාව පැවතියද, විදේශීය ගෙවීම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබාගැනීමේ අවස්ථාව මෙතෙක් සීමා වී තිබුණි.
මෙම මස 15 නිදා සිට පේපෑල් සේවාව මෙරටදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව රූපවාහිනී සංස්ථාව වාර්තා කළද, එහි කාල සීමාව හෝ ක්රියාත්මක වන ආකාරය පිළිබඳ විස්තර මෙතෙක් නිල වශයෙන් ප්රකාශයට පත් කර නොමැත.
Comments
Moderated before publishing. Your email stays private.