නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද සුඛෝපභෝගී BMW මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට වරද පිළිගන්නා බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා නියෝජනය කළ නීතිඥ මණ්ඩලය විසින් මෙම විශේෂ දැනුම්දීම සිදුකර ඇත.
කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයක අතහැර දමා තිබියදී සොයාගත් කළු පැහැති BMW මෝටර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මෙම තොරතුරු අනාවරණය විය.
විමර්ශනවලදී හෙළි වූ සුවිශේෂී තොරතුරු
අදාළ මෝටර් රථයේ චැසි සහ එන්ජින් අංක 2021 වසරේදී එංගලන්තයේදී සොරකම් කරන ලද සුඛෝපභෝගී රථයක දත්ත සමඟ සැසඳෙන බව විමර්ශනවලදී තහවුරු වී ඇත. රථයේ ප්‍රදර්ශනය කර තිබූ ලියාපදිංචි අංකය නාවල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් එකක් බවද එහිදී හෙළි වී තිබේ.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත්තේ මෙම රථය නීති විරෝධී ලෙස එකලස් කරන ලද්දක් බවය. එමෙන්ම ශ්‍රී ලංකා රේගුවද මෙම චැසි අංකය සහිත රථයක් නීත්‍යනුකූලව ගෙන්වා නොමැති බව තහවුරු කර ඇත.
රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් ලේඛන කිහිපයක් හමු වූ නමුත්, ඊට අදාළ නිල ලියාපදිංචි ලේඛන සොයාගැනීමට නොහැකි වී ඇත.
ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට 2024 ඔක්තෝබර් 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණි.
හිටපු අමාත්‍යවරයා අදාළ චෝදනාවලට වරද පිළිගැනීමට තීරණය කිරීමත් සමඟ නඩුවට අදාළව අධිකරණය විසින් ඉදිරියේදී ලබාදීමට නියමිත තීන්දුව සහ දණ්ඩනය කෙරෙහි මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.