එයාර් බස් ගනුදෙනුවට අදාළව සිදු කරනු ලබන විමර්ශනයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා එළඹෙන 27 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (13) නියෝග කළේය.
සැකකාර මන්ත්රීවරයා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කිසිදු සුවිශේෂී කරුණක් ඉදිරිපත් නොවීම හේතුවෙන් මහේස්ත්රාත්වරයා විසින් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය දීර්ඝ කරනු ලැබීය.
අධිචෝදනා ගොනුකිරීම සහ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල
මෙම නඩුකරය අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, සැකකරුට එරෙහිව වහාම අධිචෝදනා ගොනු කර ඒ පිළිබඳව අධිකරණය වෙත වාර්තා කරන ලෙස මහේස්ත්රාත්වරයා අල්ලස් කොමිසම වෙත නියෝග කළේය.
එමෙන්ම එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අල්ලස් ලබාගැනීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීම සඳහා අවසර පතා අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇති බව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විසින් මෙම දැනුම්දීම සිදුකරන ලදී.
Comments
Moderated before publishing. Your email stays private.