අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් 'එන්. ආර්. කන්සල්ටන්සි' සමාගමේ ආයෝජනය කරමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිවුදෙනෙකුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලට අදාළ නඩුව ලබන පෙබරවාරි 11 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (29) නියෝග කළේය.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කර නොතිබූ අතර නඩුවේ අනෙකුත් සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
නීතිපති උපදෙස් සඳහා ඉදිරි දිනයක් ඉල්ලයි
මෙම සිදුවීමට අදාළ විමර්ශන වාර්තාවල උදෘත දැනටමත් නීතිපතිවරයා වෙත යොමු කර ඇති බැවින්, නීතිපති උපදෙස් ලබාගැනීම වෙනුවෙන් ඉදිරි දිනයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ පෙබරවාරි 11 වැනිදා අදාළ විමර්ශනවල නවතම ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසයි.
නඩුවේ පසුබිම සහ චෝදනා ලැබූවන්
රුපියල් මිලියන 15ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කරමින් මුදල් විශුද්ධිකරණය සිදුකර ඇති බවට චෝදනා කරමින් 2015 ජූලි 28 වැනිදා දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම සහ සුදර්ශන බණ්ඩාර ගනේගොඩ යන පුද්ගලයින්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
අද දින අධිකරණයේදී සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටියේය.
Comments
Moderated before publishing. Your email stays private.