රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ මෙන්ම ස්වයං රැකියාවල නියුතු පවුල්වල නිවාස ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමේ අරමුණින්, පෞද්ගලික අංශය, බැංකු සහ මූල්‍ය ආයතන සමඟ ඒකාබද්ධව ඉදිරි වසර පහ තුළ දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව මහල් නිවාස ඒකක 10,000ක් ඉදිකිරීමට රජය පහසුකම් සපයන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
2027 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ අඩු ආදායම්ලාභී, මධ්‍යම ආදායම්ලාභී, අවතැන් වූ මෙන්ම වතු ප්‍රජාව ඇතුළු සියලු ජන කොටස් ආවරණය වන පරිදි දැවැන්ත නිවාස සංවර්ධන වැඩපිළිවෙළක් ලබන වසරේදී දියත් කරන බවයි.
අඩු ආදායම්ලාභී නිවාස ප්රදානය රුපියල් මිලියන 1.5 දක්වා ඉහළට
අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන "තමන්ටම කියා නිවසක් - සුන්දර ජීවිතයක්" වැඩසටහන යටතේ එක් නිවසක් ඉදිකිරීම සඳහා මෙතෙක් ලබාදුන් රුපියල් මිලියනයක (ලක්ෂ 10) නිවාස ප්රදානය රුපියල් මිලියන 1.5ක් (ලක්ෂ 15) දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
ඒ යටතේ 2027 වසර තුළ නව නිවාස 10,000ක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 15,000ක මුදලක් අයවැයෙන් වෙන් කර ඇත.
අතරමඟ නතර වූ නාගරික මහල් නිවාස ව්‍යාපෘති සම්පූර්ණ කිරීමට මිලියන 26,820ක්
නාගරික අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදිකිරීම් අඩක් නිම කර තිබූ ටොරින්ටන්, කොළඹගේ මාවත, කොලොන්නාව, පෑලියගොඩ, මොරටුව, මහරගම සහ දෙමටගොඩ යන ප්‍රදේශවල නිවාස සංකීර්ණ 2027 වසරේදී සම්පූර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 26,820ක් වෙන් කර තිබේ.
ඊට සමගාමීව මීතොටමුල්ල සහ කුරුණෑගල ප්‍රදේශවල නව නාගරික නිවාස ව්‍යාපෘතිද ආරම්භ කෙරෙන අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ලබන වසරේදී මාලිගාවත්ත සහ යක්කල ප්‍රදේශවල පෙර-විකුණුම් පදනම යටතේ මධ්‍යම ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති දෙකක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
උතුරු - නැගෙනහිර නැවත පදිංචි කිරීම් සහ වතු නිවාස ව්‍යාපෘති කඩිනම් කෙරේ
උතුරු සහ නැගෙනහිර පළාත්වල යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ඉදිරි වසර දෙක ඇතුළත නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර ඇත.
තවද වතු ප්‍රජාවගේ නිවාස ගැටලුව විසඳීම සඳහා ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක වන නිවාස 10,000 ව්‍යාපෘතියද කඩිනම් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Comments
Moderated before publishing. Your email stays private.