Swipe left or right to navigate stories
දත්ත පාලනය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික වැඩමුළුව ඇරඹේ

දත්ත පාලනය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික වැඩමුළුව ඇරඹේ

රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද "රාජ්‍ය අංශයේ පරිවර්තනයක් උදෙසා දත්ත පාලනය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික වැඩමුළුව" ඊයේ (20) කොළඹදී ආරම්භ විය.

මෙම තෙදින වැඩමුළුව එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන සහ ඩිජිටල් රාජ්‍ය පාලන අංශය, එහි රාජ්‍ය පාලනය පිළිබඳ ව්‍යාපෘති කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබයි.

දින තුනක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනේදී දත්ත පාලනයේ මූලධර්ම, ජාතික දත්ත පාලන රාමුවක් සංවර්ධනය කිරීම, ඩිජිටල් රාජ්‍ය සේවා, රාජ්‍ය නිලධාරීන් සඳහා කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මූලික කරුණු, වගකීම් සහගතව කෘත්‍රිම බුද්ධිය භාවිතය, ජනනීය සහ ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගැනීම මෙන්ම ආයතනික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම පිළිබඳව දේශන, සාකච්ඡා සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් ඔස්සේ දැනුවත් කිරීමට නියමිතය.



තාක්ෂණික දැනුම ඉහළ නැංවීම

දත්ත පාලනය, ඩිජිටල් රාජ්‍ය පාලනය සහ කෘත්‍රිම බුද්ධිය වගකීමෙන් හා ඵලදායී ලෙස භාවිත කිරීම පිළිබඳ රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ දැනුම සහ හැකියාවන් වර්ධනය කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් පවතින ඉහළම භාවිතයන්, දත්ත කළමනාකරණය, අන්තර් ක්‍රියාකාරී රාජ්‍යමය පද්ධති, ආචාරධාර්මික කෘත්‍රිම බුද්ධි භාවිතය සහ ඩිජිටල් පරිවර්තනයට අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ආයතනික සූදානම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු කෙරේ.



විශේෂඥයින් රැසකගේ දායකත්වය

රාජ්‍ය ආයතන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, දෙස් විදෙස් තාක්ෂණික විශේෂඥයින් සහ ජාත්‍යන්තර සම්පත්දායකයින් රැසක් සහභාගී වන මෙම වැඩමුළුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමටත්, ආයතන අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් සාක්ෂි මත පදනම්ව තීරණ ගැනීමේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමටත් මහඟු දායකත්වයක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.



සහභාගීත්වය

මෙම අභිමානවත් සමාරම්භක අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රාජේෂ් පන්ඩව්, රාජ්‍ය පාලනය පිළිබඳ ව්‍යාපෘති කාර්යාලයේ ප්‍රධානී චැන්ග්සෙයොබ් හැන් සහ ගොව්ටෙක් ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ශෙවාන් ගුණතිලක යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem