Swipe left or right to navigate stories
තමිල්නාඩු මැතිවරණයේ ජය විජේට

තමිල්නාඩු මැතිවරණයේ ජය විජේට

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සුපිරි නළු විජේගේ 'තමිලග වෙට්රි කලගම්' (TVK) පක්ෂය සමත් විය. ඒ ආසන 234 න් ආසන 108 කම ජය තම පක්ෂය සතුකර ගනිමිනි.

‍මෙවර මැතිවරණයේදී ආසන 100 කට වැඩි ගණනක් දිනූ එකම පක්ෂයද 'තමිලග වෙට්රි කලගම්' පක්ෂය වන අතර මැතිවරණ ජය ගැනීමෙන් පසු රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔවුන් තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇතැයිද වාර්තා වේ.

බලයේ සිටි මහ ඇමති එම්.කේ. ස්ටාලින් නායකත්වය දැරූ ද්‍රවිඩ මුන්නේත්‍ර කස්හාගම් (DMK) පක්ෂය ආසන 59 ක්ද, ඕල් ඉන්දියන් අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කස්හාගම් (ADMK) පක්ෂය ආසන 47 ක්ද ලබා ගෙන පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්ව ඇත.



ආණ්ඩුවක් පිහිටුවීම

තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ සරල බහුතරය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආසන 118 ක් ජයග්‍රහණය කළ යුතු වුවත්, විජේගේ පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 108 ක් පමණි. එබැවින් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවත් පක්ෂයක් හෝ පක්ෂ කිිහිපයක් සමග සන්ධානගත වීමට සිදුවනු ඇත.

ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඔවුන් කුමන පක්ෂ සමග සන්ධානගත වීමට සූදානමින් සිටින්නේ දැයි මෙතෙක් තහවුරු වී නොමැති නමුත්, විජේ තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට වැඩි ඉඩ කඩක් ඇතැයි වාර්තා ‍වේ.

ප්‍රධාන පක්ෂ තුන අතරේ ආසන 214 ක් බෙදී යද්දී, සුළු පක්ෂ අතර සෙසු ආසන 20 ‍‍බෙදී ගොස් තිබේ. එහිදී INC පක්ෂය ආසන 5 ක්ද, PMK පක්ෂය ආසන 4 ක්ද හිමිකරගෙන ඇති අතර පක්ෂ 4 ක් ආසන 2 බැගින්ද, පක්ෂ 3 ක් එක් ආසනය බැගින්ද හිමිකරගෙන තිබේ.



විජේගේ දේශපාලන ගමන් මඟ

දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන එස්.ඒ. චන්ද්‍රසේකර් සහ ගායිකාවක වන ශෝබාගේ දරුවකු ලෙස එස්.ඒ. ජෝසප් විජේ චෙන්නායිහිදී උපත ලබන්නේ 1974 වසරේ ජුනි 22 වැනිදාය. ඔහු පළමු වරට සිනමාවට පිවිසින්නේ සිය පියා 1992 වසරේදී අධ්‍යක්ෂණය කළ ‘නාලයියා තෙරප්පු’ චිත්‍රපටයෙනි.

චිත්‍රපට 68 ක රඟපාමින් වසර ගණනාවක් පුරා දෙමළ සිනමාව තුළ අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි විජේ, සිනමාවෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කිරීමත් සමග සිය දේශපාලන පක්ෂයේ වැඩ කටයුතු ආරම්භ කළේය. පසුව පක්ෂයේ නිල ධජය සහ නිල ගීතයද ප්‍රසිද්ධියට පත් කළේය.

පළමු පක්ෂ මහ සමුළුව පැවැත්වූයේ පක්ෂය පිහිටුවා මාස 8 කින් පසුව වුවත්, දශක ගණනාවක් පුරා ද්‍රවිඩ මුන්නේත්‍ර කස්හාගම් පක්ෂය සහ ඕල් ඉන්දියන් අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කස්හාගම් පක්ෂය අතර තමිල්නාඩුවේ දේශපාලන බලය සඳහා පැවැති ද්වන්ධ සටන විජේගේ ආගමනයත් සමග නිමාවට පත් විය.



මැතිවරණ පොරොන්දු

‍මෙවර මැතිවරණයට ඉදිරිපත්වීමේදී විජේ, තමිල්නාඩු ජනතාවගේ වැඩි ආකර්ෂණයක් සහ අවධානයක් දිනාගත හැකි ආකාරයේ පොරොන්දු මාලාවක් ඉදිරිපත් කළේය. එම පොරොන්දුවල ඉහළින්ම ඇති පොරොන්දුවක් ලෙස කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනිම සඳහන් කළ හැකිය.

1974 සහ 1976 වසරවලදී ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකා ආග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වය යටතේ අස්සන් කළ ඉන්දු ලංකා සමුද්‍ර සීමා ගිවිසුමට අනුව කච්චතිව් දූපතේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකාවටය.

ඒ අනුව කච්චතිව් දූපත අයිති ශ්‍රී ලංකාවට වන අතර එය ඉන්දීය රජයේද පිළිගැනීම විය. කෙසේ වුවත් පසුගිය කාලයේ මැතිවරණ වේදිකාවේදී එය අභියෝගයට ලක් කළ විජේ, සිය ජග්‍රහණයෙන් අනතුරුව කච්චතිව් දූපතේ අයිතිය යළිත් ඉන්දියාවට පවරාගැනීමට කටයුතු කරන බවද පැවසීය.



ශ්‍රී ලංකා දේශපාලකයන්ගේ සුබපතුම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විජේගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කර තිබේ.

රාජපක්ෂ මහතා X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ සැබෑ වැඩකොටස දැන් ආරම්භ වන බවත්, ඉදිරියේ ඇති අභියෝග ජයගෙන ජනතාවට අර්ථවත් සේවයක් සැලසීමට විජේ ඇතුළු ඔහුගේ කණ්ඩායමට ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරන බවත්ය.

දිල්ත් මහතා X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ පක්ෂය පිහිටුවීමේ සිට ඉතා කෙටි කලක් තුළ මැතිවරණ ජනවරමක් ලබා ගැනීම දක්වා වූ මෙම පෙරගමන්කාර දේශපාලන බලවේගයේ ගමන අසාමාන්‍ය එකක් බවය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem