දිවයින වටා වන මුහුදු ප්රදේශ කිහිපයක පවතින තද සුළං සහ රළු මුහුදු ස්වභාවය හේතුවෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශ සඳහා විශේෂයෙන් අදාළ වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් ඉදිරියේදී කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස නාවික සහ ධීවර ප්රජාවට වැඩිදුරටත් දැනුම් දෙයි.
මුහුදු යාම තහනම්
එම මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 – 70 දක්වා ඉහළ යා හැකි අතර මුහුද විටින් විට ඉතා රළු විය හැකිය.
එම නිසා නැවත දැනුම්දෙන තුරු එම මුහුදු ප්රදේශවලට යාත්රා නොකරන ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් ධීවර හා නාවික ප්රජාවගෙන් තදින්ම ඉල්ලා සිටියි.
සෙසු මුහුදු ප්රදේශවල තත්ත්වය
ත්රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50–60 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්රදේශද විටින් විට රළු විය හැකිය.
මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 – 2.5ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී.
Comments
Moderated before publishing. Your email stays private.