මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින අතර මේ වසරේ ගෙවී ගිය කාලසීමාව තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 76,044 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ ඊයේ (19) දිනයේදී පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 2,652 දෙදෙනෙකු හඳුනාගෙන ඇති පසුබිමකය.
මේ වන විට දිවයින පුරා පිහිටි සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාස 162ක් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත. එබැවින් සිය අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්ය බලධාරීන් මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.
කාන්තාවන්ට වැඩි අවදානමක්
මෙම වසර තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 37 දෙනෙකුම කාන්තාවන් බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේය.
ඩෙංගු රෝග ලක්ෂණ පවතිද්දීත් නිසි ලෙස විවේක නොගෙන නිවසේ එදිනෙදා වැඩ කටයුතුවල නිරත වීම මෙලෙස කාන්තා මරණ සංඛ්යාව ඉහළ යාමට ප්රධාන හේතුවක් වී ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
අත්බෙහෙත් භාවිතය
උණ වැළඳී දින දෙකක් ඇතුළත සුදුසුකම් ලත් වෛද්යවරයෙකු හමුවී ප්රතිකාර ලබාගන්නා ලෙස උපදෙස් දෙන සෞඛ්ය අංශ, ඩෙංගු රෝගය සඳහා විවිධ අත්බෙහෙත් භාවිත කිරීමෙන් වළකින ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අත්බෙහෙත් ලබාගැනීම නිසා රෝගීන්ගේ අක්මාව සහ වකුගඩු අකර්මණ්ය වීම වැනි බරපතළ සංකූලතා ඇතිවීමේ වැඩි ප්රවණතාවක් පවතින බව වෛද්ය කපිල කන්නන්ගර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
වැඩිම බලපෑම බස්නාහිරට
පසුගිය මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ දැඩි වර්ධනයක් දක්නට ලැබුණු අතර මැයි මාසයේදී රෝගීන් 8,590ක්, ජූනි මාසයේදී 21,537ක් සහ ජූලි මාසයේ ගතවූ දින 19 තුළ පමණක් රෝගීන් 20,666ක් වාර්තා වී තිබේ.
පළාත් මට්ටමින් වැඩිම රෝගීන් ප්රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය මුළු රෝගීන් සංඛ්යාවෙන් 52.61% කි (රෝගීන් 40,009ක්).
දකුණු පළාතෙන් රෝගීන් 11,707ක් සහ මධ්යම පළාතෙන් 6,431ක් වාර්තා වේ.
දිස්ත්රික් මට්ටමින් බලපෑම
දිස්ත්රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්යාවක් ගම්පහ දිස්ත්රික්කයෙන් (15,910) වාර්තා වන අතර කොළඹ දිස්ත්රික්කයෙන් රෝගීන් 15,110ක් වාර්තා වී ඇත.
ඉන් 3,073ක්ම කොළඹ මහ නගර සභා බල ප්රදේශයට අයත් වේ. මීට අමතරව මාතරින් 5,330ක්, මහනුවරින් 5,111ක් සහ කළුතරින් රෝගීන් 5,010ක් වාර්තා වේ.
Comments
Moderated before publishing. Your email stays private.