Swipe left or right to navigate stories
ඩෙංගු රෝගීන් 55,000 පනී : පැය 24ට 1,024ක්

ඩෙංගු රෝගීන් 55,000 පනී : පැය 24ට 1,024ක්

දිවයින පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර මෙම වසර (2026) තුළ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,406ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

රෝගය වැළඳීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාවද අද (1) වැනිදා වන විට 32ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 25 දෙනෙක්ම කාන්තාවෝ වෙති.

ගත වූ පැය 24ක කාලය තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 1,024 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කළේය.



බස්නාහිර පළාත දැඩි අවදානමක

නිල දත්තවලට අනුව ජූනි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 21,565ක් හඳුනාගෙන ඇති අතර ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

  • කොළඹ දිස්ත්‍රික්කය: 11,392ක්
  • ගම්පහ දිස්ත්‍රික්කය: 11,006ක්

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඉදිරි සති කිහිපය තුළ ජනතාව වඩාත් සෞඛ්‍යාරක්ෂිතව සහ වගකීමෙන් කටයුතු නොකළහොත් තත්ත්වය තවදුරටත් බරපතළ විය හැකි බවය.



වෛද්‍ය කපිල කන්නංගර මහතා

පරිශ්‍රයන් පිරිසිදු කිරීමට ජනතාව තවමත් පූර්ණ දායකත්වයක් ලබා නොදීම මෙම තත්ත්වයට මූලිකම හේතුව බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා කියා සිටියි.

විශේෂයෙන්ම රාජ්‍ය ආයතන සහ පාසල් ආශ්‍රිතව මදුරුවන් බෝවන ස්ථාන බහුලව හමුවන බවත්, ඉදිරි දිනවලදී රෝගය පාලනය කිරීමට නම් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට ජනතාව වහාම පියවර ගත යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



රජයේ මැදිහත්වීම

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ දැඩි අවධානය යොමුව ඇති අතර විෂයභාර අමාත්‍යවරුන් සහ දේශපාලන අධිකාරිය මේ සම්බන්ධයෙන් හදිසි උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

එහිදී ඩෙංගු මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශ ඒකාබද්ධ කරමින් විශේෂ මෙහෙයුම් කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා බලධාරීන්ට නියෝග කර තිබේ.

ජනතාව දැනුවත් කිරීමේ සහ පරිශ්‍ර පරීක්ෂා කිරීමේ වැඩසටහන් තදින්ම ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem