ලොව කාර්යබහුලම ගුවන් තොටුපළක් වන ජපානයේ ටෝකියෝ නුවර හනෙඩා ජාත්යන්තර ගුවන් තොටුපළේ භාණ්ඩ හැසිරවීමේ කටයුතු සඳහා මානවරූපී රොබෝවරුන් යොදාගැනීමේ විශේෂ ව්යාපෘතියක් ජපන් ගුවන් සේවය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.
ජපානය මේ වන විට මුහුණ දී සිටින උග්ර ශ්රමික හිඟයට සහ සීඝ්රයෙන් වියපත් වන ජනගහනය හමුවේ පැන නැගී ඇති අභියෝගයන්ට පිළියමක් ලෙස මෙම පියවර ගෙන ඇත. ‘ජී.එම්.ඕ. ඉන්ටනෙට් ගෘෘප්’ ආයතනය සමග ඒකාබද්ධව ක්රියාත්මක කරන මෙම අත්හදා බැලීමේ ව්යාපෘතිය 2028 වසර දක්වා දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමට සැලසුම් කර තිබේ.
තාක්ෂණික දායකත්වය
චීනයේ ‘යුනිට්රී’ සමාගම විසින් නිෂ්පාදනය කරන ලද සෙන්ටිමීටර 130 ක් උසැති මෙම රොබෝවරුන්, ගුවන් යානා වෙත භාණ්ඩ පටවන පටි මත මගී ගමන් මලු තල්ලු කිරීම සහ සගයන් සමග සංඥා මගින් සන්නිවේදනය කිරීම වැනි කාර්යයන් සාර්ථකව සිදු කරන බව මාධ්ය වෙත ප්රදර්ශනය කෙරිණි.
එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු පැය දෙක තුනක කාලයක් අඛණ්ඩව සේවය සැපයිය හැකි මෙම රොබෝවරුන්, ඉදිරියේදී ගුවන් යානා කුටි පිරිසිදු කිරීමේ කාර්යය සඳහා ද යොදා ගැනීමට නියමිතය.
ව්යාපෘතියේ අරමුණ
වාර්ෂිකව මිලියන 60 කට අධික මගී පිරිසක් පරිහරණය කරන මෙම ගුවන් තොටුපළ තුළ, සේවකයන්ට පැවති අධික කායික පීඩනය අවම කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.
ජපානයට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්යාව ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, රොබෝ තාක්ෂණය යොදා ගැනීම ආර්ථික වශයෙන් ද ඉහළ වටිනාකමක් ගෙන දෙන්නකි.
මිනිස් ශ්රමයේ භූමිකාව
රොබෝ තාක්ෂණයේ ආගමනයත් සමග මෙහෙයුම් කටයුතු පහසු වුවද, ආරක්ෂක කළමනාකරණය වැනි අතිශය තීරණාත්මක අංශයන්හිදී මිනිස් බුද්ධිය සහ මැදිහත්වීම තවදුරටත් අත්යවශ්ය වන බව බලධාරීහු අවධාරණය කරති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ‘ජී.එම්.ඕ. ඒ.අයි. රොබෝටික්ස්’ හි සභාපති ටොමොහිරෝ උචිඩා මහතා සඳහන් කළේ, ගුවන් තොටුපළක පසුබිම් මෙහෙයුම් තවදුරටත් මානුෂීය වගකීම් මත පදනම් වන බවයි.
Comments
Moderated before publishing. Your email stays private.