භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකට අනුව ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිස, භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන වගකීම දරන ජාතික මහලේකම් ශ්රී බී.එල්. සන්තෝෂ් මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතාවය සහ මිත්රත්වය වර්ධනය කර ගැනීමේදී, මෙම දේශපාලන පක්ෂ දෙක අතර මිත්රත්වය හා අවබෝධය වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී ඇත.
මෙම සාකච්ඡාවට සමගාමීව භාරතීය ජනතා පක්ෂයේ කාන්තා සංවිධානයේ ජාතික සභාපති ශ්රීමති රෑප්කුමාරි චෞද්රි මහත්මිය සමඟද, භාරතීය ජනතා පක්ෂයේ තරුණ සංවිධානයේ නියෝජිතයින් වන ශ්රී විනීත් වත්ස් ත්යාගී මහතා සහ භක්ති ශර්මා මහත්මිය සමඟ ද ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත පිරිස සාකච්ඡා පවත්වා තිබේ.
සාකච්ඡාවට ලක්වූ කරුණු
මෙහිදී භාරතීය ජනතා පක්ෂයේ ඉතිහාසය සහ සංවිධාන ව්යුහය සම්බන්ධයෙන් මෙන්ම, ග්රාමීය මට්ටම දක්වා පක්ෂ සමාජිකත්වය සංවිධානය කිරීමට කටයුතු කරන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කර ඇත.
එමෙන්ම ඉන්දියාවේ සංවර්ධනය වෙනුවෙන් ගෙනයනු ලබන ව්යාපෘති සහ වැඩපිළිවෙළවල් සම්බන්ධයෙන්ද, අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා විසින් ඊට ලබාදෙන නායකත්වය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් විස්තර කර තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.