Swipe left or right to navigate stories
ඥානසාර හිමියන්ගේ ඉතිරි සිරදඬුවම් කාලය ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණයෙන් නියෝග

ඥානසාර හිමියන්ගේ ඉතිරි සිරදඬුවම් කාලය ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණයෙන් නියෝග

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිර දඬුවමේ ඉතිරි කාලසීමාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) නියම කළේය.

අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව, මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුනානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.



ආරණ්‍ය සේනාසනයකදී සිදු වූ අත්අඩංගුවට ගැනීම

පසුගිය ඔක්තෝබර් 1 වැනිදා ඥාණසාර හිමියන් දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අතර එම විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක කරන ලෙසද නියෝග කෙරිණි.

එමෙන්ම උන්වහන්සේට රටින් පිටවීම වළක්වමින් විදේශ ගමන් තහනමක්ද පනවා තිබුණි.

අදාළ වරෙන්තුවට අනුව ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඉකුත් සෙනසුරාදා (03) රාත්‍රියේදී කළුතර, තීනියාවල ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥාණසාර හිමියන්ව අත්අඩංගුවට ගන්නා ලදී.



රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ නඩුවේ පසුබිම

අත්අඩංගුවට ගැනුණු උන්වහන්සේව ඊයේ (04) පස්වරු 5.30 ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර උන්වහන්සේව අද (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එහිදී අධිකරණය නියෝග කළේය.

2016 වසරේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමේ නඩුව විභාග වූ අවස්ථාවේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් 2018 වසරේදී ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසර 6 ක සිරදඬුවම් නියම විය.

2019 වසරේදී උන්වහන්සේට හිමි වූ ජනාධිපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කිරීමෙන් අනතුරුව, මෙලෙස සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියෝග කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem