දූෂණ චෝදනා මත අත්අඩංගුවට පත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනියක වූ ශ්යාමිලා පෙරේරා මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (30) නියෝග කළේය.
ඇය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරියකව සිටි සමයේ සිදු වූ බව කියන දූෂණ වංචාවකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද පස්වරුවේ ඇයව අත්අඩංගුවට ගනු ලැබීය.
එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබේ.
චෝදනාව
ජාතික ලොතරැයි මණ්ඩලය වෙත අනුමත ක්රමවේදයෙන් පරිබාහිරව එහි අනුමත කාර්ය මණ්ඩලයේ නොමැති තනතුරුවලට පුරප්පාඩුද නොමැති පසුබිමක නිලධාරීන් තිදෙනෙකු කොන්ත්රාත් පදනම මත බඳවා ගැනීම ඇයට එල්ල වී ඇති ප්රධාන චෝදනාව වේ.
සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකු සහ කළමනාකරණ සහකාර නිලධාරියෙකු ලෙස මෙලෙස බඳවා ගත් පිරිස එවකට මුදල් අමාත්ය රවී කරුණානායක මහතාගේ කාර්ය මණ්ඩලයේ සේවයට යොමු කර ඇත.
මෙම පුද්ගලයන්ගෙන් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත කිසිදු සේවයක් ලබා නොගෙන ඔවුන් වෙත වැටුප් හා දීමනා ගෙවීමට සැලැස්වීම තුළින් දූෂණය නැමැති වරද සිදු කර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් කරුණු අනාවරණය කරගෙන තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.