ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය නියමිත පරිදි පවත්වන බවත්, පවතින නීතිමය බාධා ඉවත් වූ සැණින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමටද කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ තේමාව මුල් කරගනිමින් සංවිධානය කර තිබූ ජනරැළි මාලාවේ පළමු අදියර කළුතර දිස්ත්රික්කය මුල්කරගනිමින් බුලත්සිංහල හා බේරුවල නගරවලදී ඊයේ (6) පැවැති අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
දේශපාලන විඥානයක් නැති පාර්ශ්වයන් ජනතාව බියට පත් කිරීම සඳහා ආණ්ඩුව මැතිවරණ කල් දමන බවට විවිධ ප්රකාශ කළද, තමා කිසිසේත්ම ජනතාවට වංගු ගසා පාලන බලය තබාගැනීමට උත්සාහ නොකරන බවත්, හැමවෙලේම විශ්වාසය තබන්නේ ජනතාව කෙරෙහි පමණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්රකාශ කළේය.
පළාත් සභා මැතිවරණය
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකඟ වන ඡන්ද ක්රමය තීන්දු කළ වහාම පළාත් සභා මැතිවරණය පවත්වන බව පැවසූ ජනාධිපතිවරයා, ගම් මට්ටමින් ජාතික ජන බලවේගය ප්රබලතම දේශපාලන ව්යාපාරය ලෙස තවත් ශක්තිමත් කරමින් රට ගොඩනැඟීමේ ඓතිහාසික ගමනට දායක වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
ව්යවස්ථා සංශෝධන සහ දූෂිතයන්ට දඬුවම් දීම
යම් වරදක් කර ඇත්නම් සිද්ධිය මතක කාලයේදීම දඬුවම් ලැබිය යුතු බවත්, කවදා හෝ දඬුවම් ලැබී වැඩක් නැති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් අවශ්ය ව්යවස්ථා සංශෝධන බය නැතුව ගේන බවද පැවසීය.
එමෙන්ම ජනතාව වෙනුවෙන් කිරා මැන බලන කිසිදු තීන්දුවක් ආපසු නොහරවන බවද හෙතෙම සඳහන් කළේය.
"22 වැනි ව්යවස්ථා සංශෝධනයට අදාළ තීන්දුව ලැබුණු වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, සම්මත කර දූෂිතයන්ට දඬුවම් දීමට අපි කටයුතු කරනවා" යැයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
Comments
Moderated before publishing. Your email stays private.