Swipe left or right to navigate stories
ගෝඨාභයගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

ගෝඨාභයගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

පාස්කු ඉරිදා බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා ඊයේ (6) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා මෙම පෙත්සම මඟින් අධිකරණයට සත්‍ය කරුණු වසන් කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළේය. පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඉදිරියේ ඊයේ තුන්වැනි දිනටත් සලකා බලනු ලැබීය.



සාක්ෂි සහ ඡායාරූප එළියට

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ශී හේරත් මහත්මිය කරුණු දක්වමින් කියා සිටියේ අසාද් මවුලානා නමැති පුද්ගලයා තමන් කිසිසේත් හඳුනන්නේ නැති බවත්, ඔහු කවුදැයි තමන් නොදන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇති බවය.

නමුත් මේ වන විට අත්අඩංගුවේ පසුවන ‘ඉනියභාරතී‘ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශයකින් එම කරුණ බිඳ වැටෙන බව ඇය පෙන්වා දුන්නාය.

ඉනීයභාරතීගේ ප්‍රකාශයට අනුව 2019 වසරේදී හෙන්දාවිතාරණ මහතා තමන්ට අමතා ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවන ලෙස දැනුම් දී ඇත.ඒ අනුව ඔහු මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් තිබේ.

එම අවස්ථාවේදී එම නිවසේ අසාද් මවුලානා, පිල්ලයාන්ගේ පක්ෂයේ ලේකම්වරයා සහ භාණ්ඩාගාරික ඇතුළු පිරිසක් සිටිනු තමන් දුටු බව ඉනීයභාරතී සඳහන් කර ඇත.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියේ මෙම කරුණු සනාථ කරන ඡායාරූපද තමන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය.

එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා මෙම ඡායාරූප ලබාගත්තේ කොහේදී දැයි ප්‍රශ්න කළ අතර ඇය කියා සිටියේ ඒවා ලබාගෙන ඇත්තේ පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවසේදීම බවය.



අභියාචනාධිකරණයට බලයක් නෑ

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සම මගින් තමන්ගේ නිදහසේ ගමන් බිමන් යාමේ අයිතිය සහ පුද්ගලික නිදහස උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කර ඇති අතර ඒවා මූලික අයිතිවාසිකම්වලට අදාළ කරුණු බව නීතිපති පාර්ශවය පෙන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන වගන්තියට අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් විභාග පැවැත්වීමේ සුවිශේෂී බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126(3) වගන්තිය යටතේ මෙම පෙත්සම වහාම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස ඇය ඉල්ලා සිටියාය.



විත්ති පාර්ශවයේ ස්ථාවරය

කෙසේ වුවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ සිය සේවාදායකයාගේ පුද්ගලික නිදහසට බාධාවක් වන අයුරින් ඔහු අත්අඩංගුවට පත්වීම වළක්වාලීමේ පරම අරමූණින් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර ඇති බවය.

කරනු ලැබූ ඉදිරිපත් කිරීම් සලකා බැලූ අධිකරණය, නීතිපති පාර්ශවයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ වැඩිදුර දේශන ශ්‍රවණය කිරීම එළඹෙන ජූලි මස 9 වැනිදා දක්වා කල් තැබීමට නියම කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem