Swipe left or right to navigate stories
ගංවතුර තත්ත්වය සාමාන්‍ය අතට : වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ගංවතුර තත්ත්වය සාමාන්‍ය අතට : වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද (4) දිනය තුළ තද වර්ෂාපතනයක් අපේක්ෂා නොකරන බැවින්, දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ පසුගිය පැය 24 තුළ ඇතැම් ප්‍රදේශවලට වැසි ලැබුණද, බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනයේ අඩුවීමක් දක්නට ලැබෙන බවය.

කෙසේ වෙතත් ඉදිරියේදී තෙත් කලාපයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට නැවත වර්ෂාව ලැබුණහොත්, මේ වන විටත් ඉහළ ජල මට්ටම්වල පවතින කැලණි, කළු සහ මහවැලි යන ගංගා ආශ්‍රිත පහත්බිම්වල යළි ගංවතුර අවදානමක් මතුවිය හැකි බවද ඒ මහතා කියා සිටියි.



ප්‍රධාන ගංගාවල ජල මට්ටම්

දිවයින පුරා ප්‍රධාන ගංගා ද්‍රෝණි රැසක ජල මට්ටම් මේ වන විට ක්‍රමයෙන් පහළ බැස යමින් පවතින බව පෙන්වා දුන් අධ්‍යක්ෂවරයා, මහවැලි ගඟේ නාවලපිටිය සහ පේරාදෙණිය ප්‍රදේශවල ජල මට්ටම්ද අඩුවෙමින් පවතින බව සඳහන් කළේය.

එමෙන්ම කැලණි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශ වන නොර්වුඩ් සහ කිතුල්ගල ජල මට්ටම් පහළ බැස ඇති අතර කිතුල්ගල ප්‍රදේශයේ සුළු වැඩිවීමක් වාර්තා වුවද එය අවදානම් තත්ත්වයක් නොවන බව ඔහු පැවසීය.

මීට අමතරව කැලණි ගඟේ පහළ ප්‍රදේශ වන අවිස්සාවේල්ල, ලෙන්කොස් සහ හංවැල්ල ප්‍රදේශවල ජල මට්ටම්ද අඩුවෙමින් පවතින බැවින් එම ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් නොමැත.

තවද කළු ගඟ ආශ්‍රිත රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවල ජල මට්ටම්ද ක්‍රමයෙන් පහළ බැස ඇති අතර එම ගංගා ද්‍රෝණියේ ගංවතුර තත්ත්වයක ලකුණු දක්නට නොලැබේ.

නිල්වලා සහ ගිං ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති අතර අද දිනයේද අපේක්ෂා කරන්නේ මිලිමීටර් 25ට අඩු සුළු වර්ෂාපතනයකි.

අත්තනගලු ඔය සහ මහ ඔයේ ජල මට්ටම්ද මේ වන විට අවදානම් සීමාවෙන් පහළ බැස ඇති අතර අද දිනයේ සැලකිය යුතු වර්ෂාවක් නොලැබුණහොත් දැනට පවතින තත්ත්වය සාමාන්‍ය අතට පත්වනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.

කෙසේ වුවත් ගංගා ආශ්‍රිතව පදිංචි ජනතාව ඉදිරියේදීත් මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem