කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයින් පිරිසක් විසින් පැහැරගෙන යන ලද තවත් චීන ජාතිකයෙකුගේ මළ සිරුර ඇහැළියගොඩ, කරඳන ප්රදේශයේ කැලෑබද ස්ථානයක සඟවා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන චීන ජාතිකයින් දෙදෙනෙකු මෙරටින් පළායාමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
පහරදීම සහ පැහැරගැනීම
පොලීසිය සඳහන් කරන පරිදි අද (24) අලුයම කොළඹ කොටුව, වරාය නගරය ආසන්නයේ මාලු ඇල්ලීම සඳහා චීන ජාතිකයින් තිදෙනෙකු කැබ් රථයකින් පැමිණ ඇත.
එම අවස්ථාවේදී වාහන දෙකකින් එම ස්ථානයට පැමිණි තවත් චීන ජාතිකයින් පිරිසක් ඔවුන්ට පහරදී ඇති අතර එහි සිටි එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් තිබේ.
පහරදුන් පිරිස පලාගොස් ඇත්තේ ඔවුන් පැමිණි එක් වෑන් රථයක්ද සිද්ධිය වූ ස්ථානයේ දමා ගොසිනි. පසුව සිදු කළ පරීක්ෂාවලදී එම වෑන් රථය තුළ තිබී වායු පිස්තෝලයක් සොයා ගැනීමට පොලීසිය සමත් විය.
මළ සිරුර හමුවීම
මේ අතර කරඳන ගේට්ටුකඩේ ප්රදේශයේ සිදු කළ නීතිවිරෝධී මත්පැන් වැටලීමක් අතරතුර ඇහැළියගොඩ පොලිස් නිලධාරීන් කණ්ඩායමකට කැලෑබද ප්රදේශයක සැකකටයුතු ගල් ගොඩක් නිරීක්ෂණය වී ඇත.
එහි ඇතුළත මිනිස් අතක කොටසක් තිබෙනු දැක පරීක්ෂා කිරීමේදී ගල් ගොඩ අතර සඟවා තිබූ අදාළ පුද්ගල මළ සිරුර හමු වී තිබේ.
පසුව තහවුරු වී ඇත්තේ එම මළ සිරුර වරාය නගරයේදී පැහැරගැනීමට ලක්වූ චීන ජාතිකයාගේ බවය. සිරුර වැඩිදුර පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා අවිස්සාවේල්ල රෝහල වෙත යොමු කර ඇත.
මළ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ තිබී මෝටර් රථයක්ද සොයාගෙන ඇති අතර එය මෘත දේහය ප්රවාහනය කිරීම සඳහා සැකකරුවන් විසින් භාවිත කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
අත්අඩංගුවට ගැනීම්
සිද්ධියෙන් පසු මෙරටින් පලායාමට උත්සාහ කළ සැකකාර චීන ජාතිකයින් දෙදෙනා කටුනායකදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වෙරළබඩ පොලීසිය වෙත භාරදී ඇත.
සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර මෙහෙයුම් ක්රියාත්මක කරයි. කෙසේ වෙතත් මෙම චීන ජාතිකයන් අතර ගැටුම හටගැනීමට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
තානාපති කාර්යාලයේ අවධානය
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්රතිචාර දක්වමින් ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්රකාශ කර ඇත්තේ සිද්ධිය පිළිබඳව තමන් සමීපව අවධානයෙන් පසුවන බවය.
කරුණු තහවුරු කරගැනීම සඳහා කඩිනම් හා පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසත්, ශ්රී ලංකාවේ වෙසෙන චීන පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව, නීත්යානුකූල අයිතිවාසිකම් සහ අවශ්යතා සුරක්ෂිත කරන ලෙසත් තානාපති කාර්යාලය ශ්රී ලංකා පොලීසියෙන් ඉල්ලා සිටී.
එමෙන්ම මෙරට සිටින චීන පුරවැසියන්ට තම ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙසත්, හදිසි අවස්ථාවකදී පොලීසිය හෝ තානාපති කාර්යාලය සම්බන්ධ කරගන්නා ලෙසත් දැනුම් දී ඇත.
Comments
Moderated before publishing. Your email stays private.