මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති මෙම නඩුවේ ඇතුළත් 'කුමන්ත්රණය' නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තමන් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය විසින් නිශ්ප්රභ කර ඇති බව පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව පෙත්සමක්
ඒ අනුව අදාළ අභියාචනාධිකරණ නියෝගය ඉවත් කර තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන 'කුමන්ත්රණය' නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා සිය පෙත්සම මගින් ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
මෙම පෙත්සම ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ කොළඹ මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ අතුරු ආඥාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන බැවින් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසය.
නීතිපතිගෙන් විරෝධය
කෙසේ වෙතත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අභියාචනා පෙත්සමට විරෝධය පළ කරන බව දැනුම් දුන්නේය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන ජූලි 25 වැනිදා නැවත කැඳවීමට නියෝග කළේය.
Comments
Moderated before publishing. Your email stays private.