සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා පාර්ක් ක්රීඩාංගණයේදී පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය.
පළමු තරගය ජයගැනීමට කොදෙව් කණ්ඩායමත්, දෙවැනි තරගය ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායමත් සමත් වීම හේතුවෙන් සමස්ත තරගාවලිය ජය ගැනීම සඳහා තෙවැනි තරගයේ ජය දෙපිලටම ඉතා තීර්ණාත්මක සාධකයක් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකාව සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 169, හඹාගිය ගිය කොදෙව්වෝ, කඩුලු 5 ක් දැවී ලකුණු 170 ක් ලබාගනිමින් තෙවැනි තරගයේ මෙන්ම තරගාවලියේ ජයද තමන් සතුකර ගැනීමට සමත් වූහ.
තෙවැනි තරගයේ ලකුණු සටහන
ශ්රී ලංකාව - ඕවර 20 කදී සියලු දෙනා දැවී 169
(පැතුම් නිස්සංක 26, කමිල් මිෂාර 28, කමිඳු මෙන්ඩිස් 20, දසුන් ශානක 16, දුනිත් වෙල්ලාලගේ 43, වනිඳු හසරංග 21, ශාමර් ජෝෂප් 33/5)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 19.4 කදී කඩුලු 5 ක් දැවී 170
(බ්රෙන්ඩන් කිං 16, ශිම්රන් හෙට්මෙයර් 32, රෝමන් පවෙල් 33, ශර්ෆේන් රදර්ෆෝඩ් නොදැවී 54, ජේසන් හෝල්ඩර් නොදැවී 21, වනිඳු හසරංග 17/2)
දුනිත්ගේ ධෛර්යවන්ත ඉනිම
ලකුණු 88 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී ශ්රී ලංකා ඉනිමේ අංක 7 පිතිකරුවා ලෙස පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ, පන්දු 28 කට මුහුණෙමින් වේගවත් ලකුණු 43 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම වර්ණවත් කරමිනි.
පසුපෙළ පිතිකරුවන් සමග එක්ව ශ්රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්යාව 168 ක් දක්වා රැගෙන යෑමට දුනිත් සමත් වූ අතර එහිදී වනිඳු හසරංග සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔහු සමත් විය.
මෙම තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ලාබාලතම ක්රීඩකයා වන දුනිත්, මින් පෙර තරගයේදී ලකුණු 28 කට කඩුලු 2 ක් බිඳහෙළමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
ජෝෂප්ගේ හොඳම පන්දු යැවීම
කොදෙව් වේග පන්දු යවන ක්රීඩක ශාමර් ජෝෂප් මෙම තරගයේදී සිය හොඳම විස්සයි-20 පන්දු යැවීම ප්රදර්ශනය කිරීමට සමත් වූයේ ලකුණු 33 කට කඩුලු 5 ක් දවාගනිමිනි.
ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර එහිදී ජෝෂප්ගේ පන්දු හමුවේ දැවී ගිය ශ්රී ලංකා පිතිකරුවෝ වූහ.
මේ වන විට විස්සයි-20 ජාත්යන්තර තරග 25 කදී කොදෙව් පිල නියෝජනය කර ඇති ජෝෂප්, කඩුලු 37 ක් බිඳහෙළා ඇති අතර එහිදී එක් ඉනිමක් තුළ කඩුලු 5 ක් දවාගත් පළමු අවස්ථාව මෙය විය.
රදර්ෆෝඩ්ගේ සටන්කාමී අවසානය
ජයග්රහණය කරා ලකුණු 170 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමේ මුලු කඩුලු 4 ලකුණු 53 ක් ඇතුළත දවාගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
එහෙත් කෙමෙන් කෙමෙන් කොදෙව් ඉනිම ගොඩනැගූ ශර්ෆේන් රදර්ෆෝඩ්, රෝමන් පවෙල් සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමට ජයග්රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය.
තරගය නිමාවන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් රදර්ෆෝඩ්, පන්දු 40 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 54 ක් රැස්කරමින් ජයග්රහණයේ නියමුවා බවටද පත් විය.
දුෂ්මන්තගේ පහර කෑම
දෙවැනි තරගයේදී ලකුණු 9 කට කඩුලු 3 ක් බිඳහෙළමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක දුෂ්මන්ත චමීර මෙම තරගයේදී කොදෙව් පිතිකරුවන්ගේ දරුණු පහර කෑමකට ලක්විය.
මෙම තරගයේදී චමීර යැවූ ඕවර 4 තුළ ලකුණු 64 ක් රැස්කිරීමට කොදෙව් පිතිකරුවන් සමත් වෙද්දී, චමීරට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.
ඉනිමේ 17 වැනි ඕවරයේදී හයේ පහර 3 ක් සමග ලකුණු 24 ක්ද, 19 වැනි ඕවරයේදී හයේ පහර 3 ක් සමග ලකුණු 23 ක් චමීරගෙන් උදුරා ගැනීමට කොදෙව් පිතිකරුවන් සමත් වීම ශ්රී ලංකා කණ්ඩායමේ පරාජයට බෙහෙවින්ම බලපෑවේය.
Comments
Moderated before publishing. Your email stays private.