ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව නියම කළ සම්පූර්ණ වන්දි මුදල් ගෙවීමට පැහැර හැරි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකු බැඳුම්කර මත මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
ඊට අමතරව ඔවුන් සිව්දෙනාට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමටද අධිකරණය පියවර ගත්තේය.
නියම කළ මුදලින් ගෙවා ඇත්තේ කොටසක් පමණයි
පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම මඟින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ වෙනුවෙන් වන්දි ගෙවන ලෙස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් පස්දෙනෙකුට පසුගිය මාර්තු මාසයේදී නියම කර තිබුණි.
එම නියෝගය යටතේ හිටපු අමාත්‍යවරයා විසින් රුපියල් මිලියන 75ක මුදලක් ගෙවිය යුතුව තිබුණද, ඔහු මෙතෙක් ගෙවා ඇත්තේ රුපියල් මිලියන 20ක් පමණක් බව ඔහුගේ නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත නියෝගය
නියමිත සම්පූර්ණ වන්දි මුදල ගෙවීම පැහැර හැරීම තුළින් වගඋත්තරකරුවන් අධිකරණයට අපහාස කර ඇති බව පෙන්වා දෙමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම පියවර ගෙන තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම කරුණු සලකා බැලීම සිදු කෙරිණි.
Comments
Moderated before publishing. Your email stays private.