දිවයින වටා වන මුහුදු ප්රදේශවල පවතින තද සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය, විශේෂ "රතු අනතුරු ඇඟවීමේ" නිවේදනයක් නිකුත් කර තිබේ.
හෙට (ජුනි 9) පෙරවරු 10.30 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු කලාපවල යාත්රා කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස ධීවර සහ නාවික ප්රජාවට දැඩි ලෙස අවධාරණය කර ඇත.
මීට අමතරව දිවයිනේ සෙසු වෙරළ තීරයන් වන ත්රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වාත්, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශද රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මුහුද රළු වීම
සක්රීය මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ අංශ පවසයි.
වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවලද සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්රදේශද රළු ස්වභාවයක් ගත හැකි බවද වාර්තා වේ.
මුහුදු ප්රදේශ රළු වීමට අමතරව මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ මුහුදු රළ මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවටද ඔවුන් අනතුරු අඟවා ඇත.
අනතුරු ඇඟවීම
හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැවින්, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණ අනාවැකිවල සඳහන් වේ.
පවතින අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගෙන දැනටමත් මුහුදු ගොස් ඇති ධීවරයින්ට වහාම ආරක්ෂිත ස්ථාන වෙත හෝ ගොඩබිමට පැමිණෙන ලෙසත්, ඉදිරියේදී කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් නාවික හා ධීවර ප්රජාවගෙන් ඉල්ලා සිටියි.
Comments
Moderated before publishing. Your email stays private.