මෙවර ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ තරග පාවාදීම සඳහා ‘ජැෆ්නා කිංග්ස්’ කණ්ඩායමේ සම හිමිකරු වන මන්ජොත් කල්රා විසින් ඇමරිකානු ඩොලර් 30,000කට අධික මුදලක් (රුපියල් මිලියන 10කට ආසන්න) ලබා දීමට යෝජනා කර ඇතැයි ක්රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
අත්අඩංගුවට ගත් මන්ජොත් කල්රා සහ තවත් සැකකරුවෙකු සිකුරාදා (17) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් මේ බව අනාවරණය කළේය.
භානුක, දුනිත් සහ අවිශ්කට බලපෑම්
විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේ සැකකාර මන්ජොත් කල්රා විසින් මෙවර එල්.පී.එල්. තරගාවලියේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ සහ අවිශ්ක ප්රනාන්දු යන ප්රමුඛ පෙළේ ක්රීඩකයන් කිහිපදෙනෙකු වෙත තරග පාවාදීමේ යෝජනා ඉදිරිපත් කර ඇති බවය.
කෙසේ වෙතත් අදාළ ක්රීඩකයින් වහාම ක්රියාත්මක වී මේ පිළිබඳව ක්රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.
ඉන් අනතුරුව ක්රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් මන්ජෝත් කල්රා සහ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
රුපියල් ලක්ෂ 95ක අත්තිකාරම
ක්රීඩකයන් ලබා දුන් තොරතුරු මත විමර්ශන නිලධාරීන්ගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත. එහිදී මුල් මූල්ය යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසානයේ රුපියල් මිලියන 11.5ක මුදලකට එකඟ වී ඇති අතර ඉන් රුපියල් මිලියන 9.5ක (ලක්ෂ 95ක) මුදලක් අත්තිකාරම් ලෙස ලබා දීමට තීරණය වී තිබේ.
ඒ අනුව කොළඹ පිහිටි එකඟ වූ ස්ථානයකට දෙවැනි සැකකරු විසින් රුපියල් ලක්ෂ 95ක මුදලක් කළු පැහැති බෑගයක දමාගෙන පැමිණි අවස්ථාවේදී ක්රීඩා වැරදි විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කුමන්ත්රණයට අදාළ දුරකථන සංවාද සහ වීඩියෝ දර්ශන පටිගත කර ඇති බවත්, ඒවා මුද්රා තැබූ වාර්තා ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් විමර්ශකයෝ පැවසූහ.
ඇප ප්රතික්ෂේප වෙයි
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි විත්ති පාර්ශවයේ නීතිඥවරුන් මෙම චෝදනා සියල්ල ප්රතික්ෂේප කළ අතර සැකකරුවන් ශ්රී ලංකාවට පැමිණියේ ක්රිකට් ක්රීඩාව ප්රවර්ධනය කිරීමට මිස අල්ලස් දීමට නොවන බව පවසමින් ඇප ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී ඇප ලබා දුනහොත් සිදුවෙමින් පවතින විමර්ශනවලට බාධා විය හැකි බව නිරීක්ෂණය කළ ප්රධාන මහේස්ත්රාත්වරයා, සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
මෙම මස 31 වැනිදා නඩුව නැවත කැඳවීමට නියම කෙරුණි.
Comments
Moderated before publishing. Your email stays private.