Swipe left or right to navigate stories
කපිලගේ මරණය සම්බන්ධව අරවින්ද සහ ඔහුගේ බිරිඳ සාක්ෂි දෙති

කපිලගේ මරණය සම්බන්ධව අරවින්ද සහ ඔහුගේ බිරිඳ සාක්ෂි දෙති

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි ලබාදීම සඳහා ඔහුගේ ඥාති සොහොයුරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ඊයේ (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටිහ.

කපිල චන්ද්‍රෙස්න විවාහ වී සිටියේ අරවින්දගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායකගේ බාල සොයුරිය වන ප්‍රියංගා නියෝමාලි විජේනායක සමගය. අල්ලස් නඩුවක ඇප මත සිටි කපිල, ඉකුත් සිකුරාදා (8) උදෑසන කොල්ලුපිටියේ පිහිටි අරවින්දගේ නිවසේ මියගොස් සිටියදී හමුවිය.



අරවින්දගේ සාක්ෂිය

සාක්ෂි ලබා දෙමින් ද සිල්වා ප්‍රකාශ කළේ, ඇප මත නිදහස්ව සිටි කපිල, ඔහුගේ ඇපකරුවන් සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් හේතුවෙන් නැවත රිමාන්ඩ් බන්ධනාගාරගත වීමට සිදුව තිබීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙන් පසුවූ බවය.

චන්ද්‍රසේනගේ ඇප සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් පිළිබඳව නීතිඥවරයකු සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, ඔහුට සිය නිවසේ කාමරයක් සූදානම් කර දුන් බවද එහිදී අරවින්ද පැවසීය.

පසුදින (8) අවදි වී චන්ද්‍රසේන රැඳී සිටි කාමරයේ දොරට තට්ටු කළද, කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද අරවින්ද සාක්ෂි දෙමින් කියා සිටියේය. පසුව තම බිරිඳ සහ නීතිඥවරයෙකු එක්ව 'මාස්ටර් කී' එකක් ආධාරයෙන් දොර විවෘත කළ විට ඔහු සිහිසුන්ව සිටිනු දුටු බවත්, අනතුරුව පැමිණි වෛද්‍යවරුන් ඔහු මියගොස් ඇතැයි දැනුම් දුන් බවත් අරවින්ද පැවසීය.



අරවින්දගේ බි‍රිඳගේ සාක්ෂිය

විජේනායක මහත්මිය සාක්ෂි දෙමින් කියා සිටියේ කපිල විවාහ වී සිටියේ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඇගේ බාල සොහොයුරිය වන ප්‍රියංකා විජේනායක සමඟ බවත්, ඔවුන් දෙදෙනා කලක සිට වෙන්ව ජීවත් වූ බවත්ය.

ඉකුත් සිකුරාදා (8) උදෑසන 7ට පමණ සිය සැමියා, කපිලට දුරකතන ඇමදුම් ලබාදුන්ද, ප්‍රතිචාරයක් නොලැබුණු බව ඇය පැවසුවාය. ප්‍රියන්ත නම් නීතිඥවරයෙකු සමග තමා කාමරය අසලට ගිය අතර එහිදීද ප්‍රතිචාරයක් නොමැති වීම නිසාත්, දොර විවෘත කිරීමට නොහැකි වූ නිසාත් මාස්ටර් කී එකක් භාවිත කර දොර විවෘත කළ බවද ඇය සඳහන් කළාය.

ඇය සාක්ෂි දෙමින් වැඩිදුරටත් කියා සිටියේ තමා ඇඳ මත කිසිවෙකු නොදුටු බවත්, නාන කාමරය දෙසට වන්නට පුටුවක් තිබෙනු දුටු බවත්ය. වෛද්‍යවරුන් පැමිණි පසු කපිල මියගොස් ඇති බව හෝ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව තමා විශ්වාස කළ බව ඇය පැවසුවාය.



අපරාධ කොට්ඨාසයේ කරුණු වාර්තා කිරීම

කපිලගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසයද ඊයේ (12) මුල්වරට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදි කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තාවක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමිණුම් දෙකක්ද විමර්ශන නිලධාරීහු අධිකරණයට ඉදිරිපත් කළහ.

එසේම අපරාධ ස්ථානයේ සිදුකළ විමර්ශනයට අදාළව තම භාරයට ගත් ඖෂධ වර්ග කිහිපයක්, මරණකරුගේ රුධිර සාම්පල දෙකක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරන බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.



මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්න කිරීම

මියගිය පුද්ගලයාගේ ගෙල වටා තිබූ රැහැන රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේදැයි මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රශ්න කළේය. එය නඩු භාණ්ඩයක් ලෙස නම් කර ඇති අතර රජයේ රස පරීක්ෂක වෙත යැවීමට නියමිත බවට එහිදී විමර්ශන නිලධාරීහු පිළිතුරු දුන්හ.

මියගිය පුද්ගලයා ගෙල වැලලාගෙන ඇතැයි සැක කරන දොරේ ඉහළ මතුපිටට කිසියම් හානියක් සිදුවී ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේය. එවැනි හානියක් නිරීක්ෂණය නොවූ නමුත්, පරීක්ෂණයේදී එම මතුපිටින් කෙඳි සාම්පල ලබාගත් බව නිලධාරීහු පැවසූහ.



මරණකරුගේ දුරකතනය

මියගිය පුද්ගලයා සතු වූ අයිෆෝන් 16 ප්‍රෝ මැක්ස් මාදිලියේ ජංගම දුරකථනය, ඉහළ ආරක්ෂිත පද්ධතියකින් යුක්ත බැවින් එය මෙතෙක් විවෘත කිරීමට නොහැකි වූ බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

එහි ෆේස් අයි.ඩී. ආරක්ෂණ ක්‍රමය පවතින බැවින්, මියගිය අයගේ මුහුණ භාවිත කර එය විවෘත කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ බව ඔවුහු සඳහන් කළහ.

එබැවින් අදාළ දුරකථනය නිෂ්පාදිත සමාගම වෙත හෝ සුදුසු ආයතනයක් වෙත යවා එය විවෘත කරවා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස විමර්ශන නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem