කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයක් මුල් කරගනිමින් සභා ගර්භය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
විශ්වාසභංග යෝජනාව අද දින විවාදයට නොගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය කථානායකවරයාගෙන් ක්ෂණික පිළිතුරු ඉල්ලා සිටි විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සභාව මැදට පැමිණ ඝෝෂා කරමින් විරෝධතාවයේ නිරත වූහ.
සභා ගර්භය මැද විපක්ෂයේ විරෝධය
තමන්ට අදහස් ප්‍රකාශ කිරීමට නිසි ඉඩකඩ ලබා දෙන ලෙස බලකරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් පාර්ලිමේන්තු සභාවේ සාමාන්‍ය කටයුතුවලට දැඩි බාධා එල්ල විය.
මෙහිදී සභාවේ ගෞරවය හා විනය ආරක්ෂා කරන ලෙසත්, ආවේගශීලී නොවී තමන් පවසන දේට සවන් දෙන ලෙසත් නියෝජ්‍ය කථානායකවරයා සියලු මන්ත්‍රීවරුන්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටියේය.
"කෙටි වෙලාවකින් මේවා බලන්න මම රොබෝ කෙනෙක් නෙවෙයි" – නියෝජ්‍ය කථානායක
සභාව සංසුන් කිරීමට උත්සාහ කරමින් නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේ, අදාළ විශ්වාසභංගයට අදාළව ඉදිරිපත් වූ ලියකියවිලි පහක් (05) එකවර මෙතරම් සුළු කාලසීමාවක් තුළ කියවා අවසන් කිරීම රොබෝ කෙනෙකුටවත් කළ නොහැකි කාර්යයක් බවය.
ඒ බව තමන් මුලින්ම විපක්ෂ නායකවරයාට පැහැදිලි කළ බවද හෙතෙම පෙන්වා දුන්නේය.
අදාළ සියලුම ලේඛන සහ කරුණු අද දවස ඇතුළත ඉතා හොඳින් අධ්‍යයනය කර ඒ පිළිබඳ අවසන් තීරණය සභාවට දැනුම් දීමට පියවර ගන්නා බැවින්, සභාවේ න්‍යායපත්‍රයට අනුව සාමාන්‍ය කටයුතු කරගෙන යාමට ඉඩ ලබාදෙන ලෙස නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සභාවෙන් ඉල්ලා සිටියේය.
Comments
Moderated before publishing. Your email stays private.