2027 වසරේ පැවැත්වෙන 99 වැනි ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙලෙහි 'අන්තර්ජාතික වෘත්තාන්න චිත්රපට කාණ්ඩය' නියෝජනය කිරීම සඳහා ලලිත් රත්නායක මහතා අධ්යක්ෂණය කළ ජාත්යන්තර සම්මාන දිනූ 'රිවර්ස්ටන්' සිනමාපටය නිල වශයෙන් තේරීපත්ව තිබේ.
ජාතික චිත්රපට සංස්ථාවේ සභාපති සහ ශ්රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා විසින් අද (28)පැවැති මාධ්ය හමුවකදී මේ බව නිල වශයෙන් දැනුම් දෙන ලදී.
නිල තේරීම් ක්රියාවලිය
ඇමෙරිකා එක්සත් ජනපදයේ චිත්රපට කලා හා විද්යා ඇකඩමියේ අනුමැතිය හිමිවූ ශ්රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුව විසින් ඔස්කාර් ඇකඩමියේ රෙගුලාසිවලට අනුකූලව නියාමනය කරන ලද ක්රියාවලියක් යටතේ මෙම තේරීම සිදුකර ඇත.
මෙවැනි නිල යාන්ත්රණයක් හරහා තේරී පත් වූ චිත්රපටයක් ශ්රී ලංකාව නියෝජනය කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
අශෝක හඳගම, එම්. ඩී මහින්දපාල, රවීන්ද්ර ගුරුගේ, අනෝමා රාජකරුණා, අරුණ ගුණරත්න, විසාකේස චන්ද්රසේකරම්, ලක්ෂ්මන් ජෝසප් සේරම්, උදිත ලක්මාල් කහදවාරච්චි සහ සුදත් මහදිවුල්වැව යන ප්රවීණයන් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුව විසින් සියලුම චිත්රපට නැරඹීමෙන් සහ සලකා බැලීමෙන් අනතුරුව පැවැත්වූ ඡන්ද විමසීමෙන් මෙම තීරණය ගෙන තිබේ.
සලකා බලන ලද චිත්රපට
2025 ඔක්තොම්බර් 1 සිට 2026 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ ශ්රී ලංකාවේ අවම වශයෙන් එක් සිනමාශාලාවක හෝ දින 7 ක් අඛණ්ඩව වාණිජ පදනමින් තිරගත වූ සිංහල භාෂා චිත්රපට 5ක් සහ දෙමළ භාෂා චිත්රපටයක් ඇතුළුව චිත්රපට 6ක් කමිටුවේ සලකා බැලීමට ලක්විය.
- විහඟ ප්රේමය – අධ්යක්ෂණය/නිෂ්පාදනය: සංජීව පුෂ්පකුමාර
- ආයු – අධ්යක්ෂණය: චත්ර වීරමන් / නිෂ්පාදනය: යසස් රත්නායක
- ෆාදර් – අධ්යක්ෂණය: චමින්ද ජයසූරිය / නිෂ්පාදනය: ශාන්ත ගීතදේව
- ඇන්තනි – අධ්යක්ෂණය: සුකීර්තන් ක්රිස්තුරාජා සහ ජෙනෝසන් රාජේෂ්වර් / නිෂ්පාදනය: රාමන්දාස් සුගන්තිනි සහ රාමන්දාස් සත්යරාජා
- රිවර්ස්ටන් – අධ්යක්ෂණය: ලලිත් රත්නායක / නිෂ්පාදනය: ප්රභාත් රොෂාන් සහ නිමන්ති පොරගේ
- ක්රිකට් සාධු – අධ්යක්ෂණය: දිල්ෂාර ජයමාන්න / නිෂ්පාදනය: රසිත ජිනසේන
- මෙම චිත්රපට අතුරින් චිත්රපට දෙකක් ඔස්කාර් නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් සලකා බැලීමෙන් ඉවත් කර ඇති අතර අවසානයේ 'රිවර්ස්ටන්' සිනමාපටය නිල නියෝජනය ලෙස තෝරාගන්නා ලදී.
'රිවර්ස්ටන්' නිර්මාණ දායකත්වය
ලලිත් රත්නායක විසින් අධ්යක්ෂණය කරන ලද 'රිවර්ස්ටන්' චිත්රපටය නිමන්ති පෝරගේ සහ ප්රභාත් රෝෂණ විසින් නිෂ්පාදනය කර ඇත.
මහේන්ද්ර පෙරේරා, ශ්යාම් ප්රනාන්දු, ප්රියන්ත සිරිකුමාර, රන්දික ගුණතිලක සහ ආනන්ද කුමාර උන්නැහේ ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් මෙයට රංගනයෙන් දායක වී තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.