ශ්රී ලංකාවේ ප්රමුඛතම දේශීය විස්සයි20 ක්රිකට් තරගාවලිය වන ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ 6 වැනි අදියර අද (17) කොළඹ, එස්.එස්.සී. ක්රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ක්රිකට් ක්රීඩාව, විනෝදාස්වාදය, නවීන තාක්ෂණය සහ ජාතික අභිමානය එක්තැන් කරමින් ප්රේක්ෂකයන්ට මෙතෙක් නොවිඳි ඉහළම මට්ටමේ අත්දැකීමක් ලබා දීම මෙවර සමාරම්භක උළෙලේ අරමුණ වී ඇත.
අද පස්වරු 5.00 ට ප්රේක්ෂකයන් සඳහා ක්රීඩාංගණයේ දොරටු විවෘත වන අතර නිල සමාරම්භක උළෙල පස්වරු 6.15 ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය පස්වරු 7.45 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
තරගාවලියේ ආකෘතිය
ගෝල් ග්ලාන්ට්ස්, ජැෆ්න් කිංග්ස්, දඹුල්ල සික්සර්ස්, කැන්ඩි රෝයල්ස් සහ කලම්බු කැප්ස් යන කණ්ඩායම්වල සහභාගීත්වෙනයන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටය තරග 20 කින් සමන්විත වේ.
මූලික වටය අවසානයේ ලකුණු සටහනේ මුල් ස්ථාන 4 හි රැදී සිටින කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලබනු ඇත. අවසන් වටය අගෝස්තු 5 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වේ.
තරග 4 කින් සමන්විත වන අවසන් වටයට අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ තරග 2 ක්, පිළිමළුන් පිටුදැකීමේ තරගයක් සහ අවසන් මහ තරගයක් ඇතුළත් වේ.
සමාරම්භක උත්සවය
මෙවර සමාරම්භක උළෙල ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ගායන ශිල්පීන් සහ සංගීත කණ්ඩායම් රැසකගේ සහභාගීත්වයෙන් වර්ණවත් වේ. යොහානි, සංකා දිනෙත් සහ සෙන්ටිග්රේඩ්ස් එහිදී සංගීතවත් වීමට නියමිතය.
උත්සවයේ සුවිශේෂීම සහ ආකර්ෂණීයම අංගය වන්නේ කොළඹ අහස හැඩගන්වන ඩ්රෝන යානා 500ක දැවැන්ත ආලෝක දර්ශනයයි. එම දර්ශනය, තරගාවලියට ගෝලීය ක්රීඩා උළෙලක ස්වභාවයක් ගෙන දෙනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.
තරගාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා, තරගාවලියේ නිල ආරම්භය සනිටුහන් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව මෙවර තරගාවලියේ ශූරතාව වෙනුවෙන් පිරිනමන අලංකාර කුසලානය නිරාවරණය කිරීමටද නියමිතය.
බලධාරීන්ගේ අදහස්
මේ පිළිබඳව අදහස් දක්වමින් තරගාවලිය සංවිධානය කරන අයි.පී.ජී. ආයතනයේ සභාපති අනිල් මෝහන් මහතා ප්රකාශ කළේ එල්.පී.එල්. 2026 යනු ප්රේක්ෂකයින්ට ක්රීඩාව, තාක්ෂණය සහ විනෝදය එක්තැන්ව අත්විඳිය හැකි සුවිශේෂී අවස්ථාවක් බවය.
තරගාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කළේ ක්රීඩකයින්, කණ්ඩායම් හිමිකරුවන් සහ ප්රේක්ෂකයින් එකම තැනකට එකතු කරන සමාරම්භක උළෙල හරහා තරගාවලියේ වර්ධනය වන ප්රමිතිය මනාව පිළිබිඹු වන බවය.
අද සිට ලබන අගෝස්තු 8 වැනිදා දක්වා සති කිහිපයක් පුරා පැවැත්වෙන ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය සඳහා මෙරට දක්ෂතම ක්රීඩකයන් මෙන්ම ජාත්යන්තර විස්සයි20 සුපිරි තරු රැසක්ද එක්ව සිටිති.
පළමු සති අන්තය
තරගාවලියේ සමාරම්භක තරගයේදී දසුන් ශානක නායකත්වය දරන ගෝල් ග්ලාන්ට්ස් කණ්ඩායම සහ භානුක රාජපක්ෂ නායකත්වය දරන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කොළඹ, එස්.එස්.සී. ක්රීඩාංගණයේදී අද තරග බිමට පිවිසෙනු ඇත.
දෙවැනි දිනය වන හෙට (18) ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කැන්ඩි රෝයල්ස් කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන දඹුල්ල සික්සර්ස් කණ්ඩායමත්, කුසල් මෙන්ඩිස් නායකත්වය දරන කලම්බු කැප්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලාන්ට්ස් කණ්ඩායමත් තරග වදිනු ඇත.
සති අන්තය නිමාවට පත්කරමින් ඉරිදා (19) දඹුල්ල කණ්ඩායමට එරෙහිව ජැෆ්නා කණ්ඩායමත්, කලම්බු කණ්ඩායමට එරෙහිව කැන්ඩි කණ්ඩායමත් තරග වැදීමට නියමිතය.
Comments
Moderated before publishing. Your email stays private.