Swipe left or right to navigate stories
එලබෙන 6 වැනිදා සිට බස් ගාස්තු 12% කින් ඉහළට‍

එලබෙන 6 වැනිදා සිට බස් ගාස්තු 12% කින් ඉහළට‍

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අතර ඇති වූ එකඟතාවයකට අනුව මෙම මස 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය හිමිව ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තහවුරු කළේය.

මෙම නව සංශෝධනයට අනුව මීට පෙර රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ යනු ඇත.



මිල සංශෝධනය

නම මිල සංශෝධනයට අනුව සාමාන්‍ය සේවාවන්හි කිලෝ මීටර් 100ට අඩු ගමනාන්ත සඳහ 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝ මීටර් 100 හෝ ඊට වැඩි ගමනාන්ත සඳහා 20%කින් බස් ගාස්තු ඉහළ නැංවෙනු ඇත.

එමෙන්ම සුඛෝපභෝගී සේවාවන්හි කිලෝ මීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝ මීටර් 100ට වැඩි ගමනාන්ත සඳහා 15%කින් බස් ගාස්තු ඉහළ නැංවෙනු ඇත.



පසුබිම

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 1 වැනිදා බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව පවසයි.

මේ සඳහා බටහිර ආසියාවේ පවතින යුද වාතාවරණය හේතුවෙන් ඉන්ධන මිලෙහි සිදුවන උච්චාවචනයන්, එක්සත් ජනපද ඩොලරයේ අගය වෙනස් වීම නිසා බස් රථ අමතර කොටස්වල මිල ඉහළ යාම සහ මෙහෙයුම් පිරිවැය සලකා බලා විශේෂ කමිටු නිර්දේශ ලබාගෙන තිබුණි.



පෞද්ගලික බස් හිමියන්ගේ විරෝධය

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මීට පෙර චෝදනා කළේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට දින කිහිපයකට පෙර රජය විසින් ඩීසල් මිල අඩු කරනු ලැබුවේ බස් ගාස්තු වැඩි වන ප්‍රතිශතය සීමා කිරීමේ අරමුණින් බවය.

ජාතික ප්‍රතිපත්තියට අනුව අවම ගාස්තුව රුපියල් 35ත් 40ත් අතර අගයකට පත් විය යුතු බවත්, අවම වශයෙන් 15%ත් 20%ත් අතර සමස්ත ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කළ බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් අවසානයේ දී ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සමග ඇති කරගත් සාකච්ඡාවලින් අනතුරුව මෙම මස 6 වැනිදා සිට ඉහත සඳහන් කළ 12%ක සාමාන්‍ය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවයම එකඟතාවකට පැමිණ ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem