ශ්රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිලදී ගැනීමේ ක්රියාවලියේදී සිදුවූයේ යැයි කියන මූල්ය අක්රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (16) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඒ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා විසින් පෙරේදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා වෙත ලබාදුන් නියෝගයකට අනුවය.
නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස්
එයාර්බස් ගනුදෙනුවට අදාළව පැවැත්වෙන විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කළ විමර්ශන ගොනු සලකා බැලීමෙන් අනතුරුව, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් අලුත්කඩේ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ පවතින නඩුවේ මෙන්ම කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පවතින නඩුවේද සැකකරුවෙකු ලෙස නාමල් රාජපක්ෂ මහතාව නම් කිරීමට උපදෙස් ලබා දී තිබිණි.
ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ඔහුව මෙම මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කිරීමට පියවර ගන්නා ලදී.
අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගැනීම
නීතිපති උපදෙස් සහ ඒකාබද්ධ විමර්ශනයක් අනුව එයාර්බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් නාමල් රාජපක්ෂ මහතාව පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි.
ඉන්පසු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
Comments
Moderated before publishing. Your email stays private.