ලෝකයේ වරින් වර වසංගත තත්ත්වයන් ඇති කරන "ඉබෝලා" වෛරසයේ නවතම ව්යාප්තිය හමුවේ ශ්රී ලංකාව තුළ පූර්ව සූදානම උපරිම මට්ටමකින් ක්රියාත්මක කර ඇති බව ප්රජා සෞඛ්ය විශේෂඥ වෛද්ය ප්රසාදිනී ජයසේකර මහත්මිය පවසයි.
වර්තමානයේ ලොව පුරා පැතිර යන්නේ ඉබෝලා වෛරසයේ ප්රභේදයක් වන "බුන්ඩිබුග්යෝ" වෛරස ගණය බව ශ්රී ලංකා වෛද්ය සංගම් මූලස්ථානයේදී පැවැති මාධ්ය හමුවකදී ඇය පෙන්වා දුන්නාය.
ඉබෝලා යනු ඉතාමත් දුර්ලභ ගණයේ ‘ආර්.එන්.ඒ.‘ වෛරසයක් වන අතර එහි සාමාන්ය මරණ අනුපාතිකය 50% වැනි ඉහළ අගයක පවතී. එබැවින් ලෝක සෞඛ්ය සංවිධානය ඇතුළු ජාත්යන්තර වෛද්ය කණ්ඩායම් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බවද ඇය සඳහන් කළාය.
රෝගය බෝවීම
මෙම රෝගය මිනිසාට මෙන්ම ගෝරිල්ලන්, චිම්පන්සීන්, වඳුරන් වැනි සතුන්ටද වැළඳෙන නමුත් මෙය කොවිඩ්-19 මෙන් වාතයෙන් බෝවන ශ්වසන රෝගයක් නොවන බව වෛද්යවරිය අවධාරණය කරයි.
රෝගය බෝවන්නේ ආසාදිතයෙකුගේ ලේ හෝ සිරුරු ශ්රාවයන් සෘජුවම ස්පර්ශ වීමෙන් පමණක් බැවින් මහජනතාව මේ පිළිබඳව අනවශ්ය බියක් ඇති කරගත යුතු නැතැයිද වෛද්යවරිය සඳහන් කළාය.
කෙසේ වෙතත් රට තුළට වෛරසය ඇතුළුවීම වැළැක්වීම සඳහා සෞඛ්ය අමාත්යාංශය, සෞඛ්ය ලේකම්වරයා සහ සෞඛ්ය සේවා අධ්යක්ෂවරයාගේ ප්රධානත්වයෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
ආරක්ෂිත පියවර
ඉබෝලා අවදානම පවතින අප්රිකානු රටවල් වන කොංගෝ සහ උගන්ඩා රාජ්යයන්හි සිට පැමිණෙන මගීන් ගුවන් තොටුපළ සහ වරාය සෞඛ්ය කාර්යාල මගින් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු යොදා ඇති බව වෛද්යවරිය සඳහන් කළාය.
සෞඛ්ය අමාත්යාංශයේ නිරෝධායන ඒකකය මේ වන විටත් සක්රීයව ක්රියාත්මක වන බවද, යම් හෙයකින් සැකකටයුතු රෝගියෙකු මෙරටින් හමු වුවහොත් වහාම ජාතික බෝවන රෝග විද්යායතනය වෙත ඇතුළත් කර ප්රතිකාර හා පර්යේෂණ කටයුතු සිදු කිරීමට අවශ්ය සියලු විධිවිධාන සලසා ඇති බවද ඇය කියා සිටියාය.
එබැවින් ඕනෑම හදිසි තත්ත්වයකදී වසංගත රෝග විද්යා අංශය දැනුවත් කරමින් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්රී ලංකා සෞඛ්ය අංශ උපරිම සූදානමකින් පසුවන බව ජයසේකර මහත්මිය වැඩිදුරටත් ප්රකාශ කළාය.
Comments
Moderated before publishing. Your email stays private.