ලොව පුරා සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීමේ අරමුණින් ඉන්දියාව අතිවිශේෂ පියවරක් තබමින් සිය ප්රථම ඩෙංගු එන්නත ලෙස 'QDENGA' එන්නත භාවිතය සඳහා අනුමැතිය ලබාදී තිබේ.
ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල්වරයා විසින් මෙම නිල අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඩෙංගු බහුල මෙන්ම නොමැති කලාප නියෝජනය කරමින් පුද්ගලයින් 28,000කගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු සායනික පරීක්ෂණ 19 කින් පසුව මෙම අනුමැතිය හිමිවී ඇත.
වයස 4ත් 60ත් අතර පුද්ගලයන්ට
විශේෂයෙන්ම වයස අවුරුදු 4ත් 60ත් අතර පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ ප්රතිශක්තිකරණ ප්රතිචාරය ඇගයීමට ලක් කරමින් ඉන්දියාවේදී පවත්වන ලද සායනික පරීක්ෂණයක සාර්ථක ප්රතිඵලද ඉන්දීය ඖෂධ පාලක ජෙනරාල්වරයාගේ මෙම තීරණයට ප්රධාන හේතුවක් වී තිබේ.
මෙම එන්නත වයස අවුරුදු 4 සිට 60 දක්වා වූ ඕනෑම පුද්ගලයෙකුට ලබාගත හැකි අතර මින් පෙර ඩෙංගු වැළඳී තිබීම හෝ නොතිබීම එයට බාධාවක් නොවන බව සඳහන් වේ. එමෙන්ම මෙම එන්නත ලබා ගැනීමට පෙර පූර්ව එන්නත් පරීක්ෂාවක් සිදු කිරීමද අවශ්ය නොවේ.
මෙය මිලිලීටර් 0.5ක මාත්රා දෙකක් ලෙස මාස තුනක පරතරයක් සහිතව ලබා දීමට නියමිතය.
ලෝක සෞඛ්ය සංවිධානයේ සහතිකය
ලෝක සෞඛ්ය සංවිධානය විසින් ඩෙංගු අධි අවදානම් සහිත කලාප සඳහා මෙම එන්නත යොදාගැනීමට නිර්දේශ කර ඇති අතර එහි පූර්ව සුදුසුකම්ද ලබාදී තිබේ. එමඟින් එන්නතේ ජාත්යන්තර ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ඵලදායීතාව තහවුරු කර ඇත.
2022 වසරේ සිට මේ දක්වා මෙම එන්නත ලොව පුරා රටවල් 43ක අනුමත වී ඇති අතර ගෝලීය වශයෙන් මාත්රා මිලියන 32කට වඩා බෙදා හැරීමටද කටයුතු කර තිබේ.
එන්නතට පෙර පරීක්ෂණ අවශ්ය නොවන බැවින් ඩෙංගු අධි අවදානම් සහිත ප්රදේශවල මහජන ප්රතිශක්තිකරණ වැඩසටහන් සඳහා මෙය වඩාත් සුදුසු බවද පෙන්වා දෙයි.
Comments
Moderated before publishing. Your email stays private.