ඉන්ටර්පෝල් රතු නිවේදන නිකුත් කර ඇති, රටවල් 13ක සැඟව සිටින බවට හඳුනාගත් ශ්‍රී ලාංකික අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 112 දෙනෙකු 2027 වසර වන විට නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදමින් සිටින බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
රටම එකට ජාතික මෙහෙයුමේ වසරක ප්‍රගතිය පිළිබඳව අද (29) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී තොරතුරු අනාවරණය කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව සඳහන් කළේය.
ග්‍රෑම් 5ට වැඩි මත්ද්‍රව්‍යවලට මරණ දඬුවම
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක වන බව මතක් කර දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අයිස්, හෙරොයින් හෝ කොකේන් ග්‍රෑම් පහකට වඩා ළඟ තබා ගැනීම, ජාවාරම් කිරීම හෝ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ වරදකරුවන් වන අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ මරණ දඬුවම හිමිවන බව අවධාරණය කළේය.
පසුගිය වසර දෙකහමාරක කාලය තුළ (2024 සිට මේ දක්වා) අත්අඩංගුවට ගත් අතිවිශාල මත්ද්‍රව්‍ය තොගයේ විස්තර මෙසේය.
- අයිස්: කිලෝග්‍රෑම් 7,129ක් (වටිනාකම රුපියල් බිලියන 121.64ක්)
- හෙරොයින්: කිලෝග්‍රෑම් 4,483ක් (වටිනාකම රුපියල් බිලියන 107.942ක්)
- කොකේන්: කිලෝග්‍රෑම් 333ක් (වටිනාකම රුපියල් බිලියන 14.306ක්)
- ගංජා: කිලෝග්‍රෑම් 33,277ක් (වටිනාකම රුපියල් බිලියන 5.293ක්)
ජාවාරම්කරුවන්ගේ දේපළ රාජසන්තක කිරීමට පියවර
නීතිවිරෝධී ලෙස උපයාගත් දේපළ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පොලිස් විශේෂිත ඒකක දෙකක් පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර රාජ්‍යයට පවරා ගැනීම සඳහා හඳුනාගෙන ඇති දේපළවල වටිනාකම අතිවිශාලය.
ඒ අනුව 2024 වසරේදී රුපියල් බිලියන 1.49ක්, 2025 වසරේදී රුපියල් බිලියන 1.549ක් සහ 2026 වසරේ ඔක්තෝබර් 28 වැනිදා දක්වා රුපියල් බිලියන 1.656ක් වටිනා රන් භාණ්ඩ, ඉඩම්, වාහන සහ මුදල් රාජසන්තක කිරීම සඳහා හඳුනාගෙන තිබේ.
රටම එකට මෙහෙයුමේ ප්‍රගතිය
2025 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කළ මෙම විශේෂ මෙහෙයුම සාර්ථකව වසරක් සම්පූර්ණ කර ඇති අතර එම වසර තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 2,835ක්, අයිස් කිලෝග්‍රෑම් 3,550ක්, කොකේන් කිලෝග්‍රෑම් 297ක් සහ ගංජා කිලෝග්‍රෑම් 11,167ක් සොයාගෙන ඇත.
එමෙන්ම මෙතෙක් ගතවූ කාලය තුළ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 5,743 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 450 දෙනෙකුට එරෙහිව නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වේ.
සංවිධානාත්මක අපරාධ මර්දනයේදී එල්ල වන අභියෝග හමුවේ ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහයෝගය ඇතිව මෙම සටන ඉදිරියටම ගෙන යන බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.
Comments
Moderated before publishing. Your email stays private.