දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී මතු වන හදිසි පාලම්, මාර්ග හෝ ගොඩනැගිලි ප්රතිසංස්කරණ කටයුතු මධ්යම රජයේ අනුමැතිය එනතෙක් ප්රමාද නොකර සෘජුවම දිස්ත්රික් ලේකම්වරුන් මඟින් ඉටු කිරීමට අවස්ථාව ලැබෙන පරිදි ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්රික්කයකටම වෙනම මුදල් සංචිතයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනතාවගේ මූලික අවශ්යතා කඩිනමින් ඉටු කිරීම රජයේ ප්රමුඛ අරමුණ බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී අද (9) පෙරවරුවේ පැවති දිස්ත්රික් ලේකම් සමුළුවට එක්වෙමිනි.
මහජන සේවා වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස සැපයීම සඳහා අදාළ පාර්ශ්ව අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමත්, දිස්ත්රික් මට්ටමේ ආර්ථික සංවර්ධනය ප්රවර්ධනය කිරීමත් මෙම සමුළුවේ මූලික අරමුණ විය.
ආපදා අවදානම් කළමනාකරණය
ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අධි අවදානම් ලෙස හඳුනාගත් ප්රදේශවල නැවත පදිංචි වීමට ඉඩ නොතැබීමටත්, එවැනි ප්රදේශ සඳහා විදුලිය සහ ජලය වැනි මූලික පහසුකම් ලබා නොදීමටත් ප්රාදේශීය ලේකම්වරුන් පියවර ගත යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.
නිරන්තරයෙන් ගංවතුර සහ නායයෑම්වලට ලක්වන ප්රදේශවල ජනතාව සුරක්ෂිත නිවාසවල පදිංචි කිරීමේ වැඩපිළිවෙළ ක්රමානුකූලව ක්රියාවට නැංවීමේ අවශ්යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මේ අතර මධ්යම කඳුකරයේ සංවේදී භූමිය කළමනාකරණය කිරීම සඳහා විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවීමේ කටයුතුවල ප්රගතියද ජනාධිපතිවරයා විමසා බැලූ අතර ඊට අදාළ පනත් කෙටුම්පත මේ වන විට සකස් කර ඇති බවත්, ලබන වසරේදී නව අධිකාරියේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත් එහිදී සඳහන් විය.
අවතැන් වූවන් යළි පදිංචි කිරීම
යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ නිවාස ගැටලුව කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාව බව අවධාරණය කළ ජනාධිපතිවරයා, යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී නැවත පදිංචි කිරීමට සැලසුම් කර තිබෙන බවද සඳහන් කළේය.
එසේම විවිධ හේතු මත සහ දේශපාලන වුවමනා මත අවිධිමත් අයුරින් ආරම්භ කර අතරමඟ අතහැර දමා ඇති නිවාස ඉදිකිරීම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
ඒ පිළිබඳ කඩිනම් සමීක්ෂණයක් සිදු කර ජනතාවට අවශ්ය ව්යපෘති පමණක් හඳුනාගෙන, එම නිවාසවල වැඩ අවසන් කර ගැනීම වෙනුවෙන් නිවාස ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්රියාත්මක කිරීමට අවධානය යොමු කර තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
හමුදා භාරයේ පවතින ඉඩම්
අවශ්යතාව සලකා බලමින් හමුදා කඳවුරු භාරයේ පවතින ජනතාවගේ ඉඩම් නිදහස් කරන අතරම අනෙකුත් විශාල ඉඩම් ආයෝජන සඳහා ලබා දීමට අවධානය යොමුව තිබෙන බව ජනාධිපතිවරයා මෙහිදී ප්රකාශ කළේය.
කෙසේ වුවද වගා කටයුතු සඳහා මෙලෙස ඉඩම් ලබාදීමේදී වන සංරක්ෂණ හා වනජීවී කලාප ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රාජ්ය අංශයේ ප්රතිසංස්කරණ
ගුණාත්මක රාජ්ය සේවාවක් වෙනුවෙන් රාජ්ය අංශයේ පුළුල් ප්රතිසංස්කරණයක අවශ්යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, රාජ්ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙන් ඵලදායීතාවෙන් තොර ආයතන ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බවද පැවසීය.
එමෙන්ම සෞඛ්ය, අධ්යාපන ඇතුළු අත්යවශ්ය ක්ෂේත්රවල පුරප්පාඩු පිරවීමට පියවර ගෙන ඇති බවත්, බන්ධනාගාර තදබදය ඉහළ යාමට ප්රධාන හේතුවක් වී ඇති රසපරීක්ෂක වාර්තා ප්රමාදවීමේ ගැටලුව මඟහරවා ගැනීම වෙනුවෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු කඩිනමින් පියවීමට පියවර ගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.
මෙම අවස්ථාවට රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්ය අමාත්ය රුවන් සෙනරත් යන මහත්වරුද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති, රාජ්ය පරිපාලන අමාත්යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු අමාත්යාංශ ලේකම්වරු, සියලු දිස්ත්රික් ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්රධානීන් ඇතුළු ජ්යෙෂ්ඨ රාජ්ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
Comments
Moderated before publishing. Your email stays private.