ක්‍රිප්ටෝ ඉතිහාසයේ එල්ල වූ විශාලතම සයිබර් ප්‍රහාරයට මුහුණදීමෙන් අනතුරුව ලොව විශාලතම ක්‍රිප්ටෝ හුවමාරු වේදිකාව වන බයිනෑන්ස් ඊයේ (01) යළි මෙහෙයුම් ආරම්භ කළද, පළමු පැය 24 තුළදීම ගනුදෙනුකරුවන් විසින් ශුද්ධ වත්කම් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.64ක් ඉවත් කරගෙන තිබේ.
ඩොලර් බිලියන 6.3ක දැවැන්ත ඩිජිටල් වත්කම් ප්‍රමාණයකට බලපෑම් එල්ල කරමින් එල්ල වූ මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් සියලුම මුදල් ආපසු ගැනීම් සහ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට සමාගමට සිදුවිය.
උතුරු කොරියාවේ 'ලැසරස්' කල්ලියට චෝදනා
ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ඇතුළු ප්‍රමුඛ බුද්ධි ආයතන කිහිපයක්ම තහවුරු කරන්නේ මෙම මහා පරිමාණ මංකොල්ලය පිටුපස උතුරු කොරියාව සිටින බවය.
'ට්‍රේඩර්ට්‍රේටර්' හෙවත් කුප්‍රකට ලැසරස් කල්ලිය විසින් මෙම ප්‍රහාරය සැලසුම් කර දියත් කර ඇති බවට හඳුනාගෙන තිබේ.
මොවුන් මීට පෙර 2025 වසරේදී 'බයිබිට්' හුවමාරුවෙන්ද ඩොලර් බිලියන 1.5ක මුදලක් සොරකම් කර තිබූ අතර අදාළ කල්ලියට අයත් ක්‍රිප්ටෝ පසුම්බි ලැයිස්තුවක්ද FBI ආයතනය විසින් මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇත.
පළමු දිනයේ ගනුදෙනු සහ වත්කම් සුරක්ෂිතභාවය
බයිනෑන්ස් සමාගම සිය නිල ‘X’ ගිණුම ඔස්සේ සඳහන් කළේ ඊයේ දින තුළ ක්‍රියාත්මක වූ ගනුදෙනු වාර්තාව මෙසේ සටහන් වන බවය.
- මුදල් ආපසු ගැනීම් (Withdrawals): ඩොලර් බිලියන 4.649
- නව තැන්පතු (Deposits): ඩොලර් බිලියන 1.010
- ශුද්ධ මුදල් පිටතට ගලායාම (Net Outflow): ඩොලර් බිලියන 3.640
මේ අතර අනවසරයෙන් පැහැරගත් වත්කම්වලින් 95%ක පමණ ප්‍රමාණයක් ආවරණය කිරීමට තමන්ට දැනටමත් හැකි වී ඇති බවත්, ඉතිරි පාඩුව පියවා ගැනීම සඳහා තවත් සුළු කාලයක් ගතවනු ඇති බවත් බයිනෑන්ස් පාලනාධිකාරිය සිය ගනුදෙනුකරුවන්ට සහතික වී තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.