ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ශ්රී ලංකා ගුවන් හමුදාව වෙත පරිත්යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී සිදු කෙරිණි.
ඊයේ පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි ජනාධිපතිවරයාව ගුවන් හමුදා උත්තමාචාර සහිතව පිළිගත් අතර අනතුරුව ඒ මහතා හෙලිකොප්ටර් යානා නිරීක්ෂණය කර කාර්ය මණ්ඩලය සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.
මෙම අවස්ථාවට සමගාමීව ද්විපාර්ශ්වික ගිවිසුමකටද අත්සන් තැබුණු අතර ශ්රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ ඇමරිකානු පැසිෆික් ගුවන් හමුදා ආඥාපති ජනරාල් කෙවින් ෂ්නයිඩර් මහතා ඊට අත්සන් තැබූහ.
මෙහෙයුම් රැසකට සහාය
මෙම TH-57 ‘සී රේන්ජර්’ යානා සතු බහුකාර්ය හැකියාවන් හේතුවෙන් ඉදිරියේදී ඒවා ක්ෂේත්ර කිහිපයක් ඔස්සේ මෙහෙයුම් සඳහා යොදවා ගැනීමට අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම මෙමගින් ගුවන් හමුදාවේ ගුවන් නියමු පුහුණු ධාරිතාව සහ ගුවන් මෙහෙයුම් පුළුල් වන අතර ආපදා සහන සේවා, සෙවීම් සහ මුදාගැනීම් මෙන්ම හදිසි මහජන සේවා කටයුතු සඳහාද විශාල සහායක් හිමි වේ.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ගුවන් කාර්ය මණ්ඩල පුහුණු කිරීමද මෙමගින් සිදු කෙරෙන අතර එය ගෝලීය සාමය වෙනුවෙන් ශ්රී ලංකාව දක්වන දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇත.
තාක්ෂණික පරීක්ෂණ
ඇමරිකාවේ සිට විශේෂ භාණ්ඩ ප්රවාහන පහසුකම් ඔස්සේ මෙම මස 1 වැනිදා ලංකාවට රැගෙන ආ මෙම යානා, රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් ඉංජිනේරු අංශයේදී එකලස් කෙරිණි.
ශ්රී ලංකා ගුවන් සීමාවට සහ දේශගුණයට ගැළපෙන පරිදි සිදු කෙරෙන සියලුම තාක්ෂණික පරීක්ෂණ සහ අත්හදා බැලීමේ පියාසැරිය අවසන් කිරීමෙන් පසුව මෙම යානා නිල මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිතය.
දෙස් විදෙස් ප්රභූන් රැසක්
මෙම නිල උත්සවය සඳහා ආරක්ෂක නියෝජ්ය අමාත්ය විශ්රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුන් ඇතුළු ත්රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.
ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නියෝජනය කරමින් දකුණු සහ මධ්යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්ය ලේකම් පෝල් කාපර්, වැඩබලන තානාපති ජේන් හොවෙල් සහ ජ්යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී මෙන්ම ආරක්ෂක උපදේශක ලෙෆ්ටිනන්ට් කර්නල් මැතිව් හවුස් යන මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීහු පිරිසක්ද මීට සහභාගී වූහ.
Comments
Moderated before publishing. Your email stays private.