Swipe left or right to navigate stories
ආබාධිතයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකා වාර්තාව ජිනීවාහිදී සමාලෝචනයට

ආබාධිතයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකා වාර්තාව ජිනීවාහිදී සමාලෝචනයට

එක්සත් ජාතීන්ගේ ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වාර්තාව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 35 වැනි සැසිවාරයේදී සමාලෝචනය කිරීමට නියමිතව තිබේ.

අගෝස්තු 14 සහ 15 යන දිනවල ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලස්ථානයේදී පැවැත්වෙන මෙම විශේෂ සමාලෝචන වාරය සඳහා ග්‍රාමීය සංවර්ධන, සාමාජික සුබසාධන සහ ප්‍රජා බලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ රජයේ නියෝජිත පිරිසක් සහභාගී වේ.



රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස

මෙම නිල නියෝජිත පිරිසට අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා බාලපටබැඳි සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ තිලිණි ජයසේකර යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.

මීට අමතරව ශ්‍රී ලංකාව තුළ මෙම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමට දායක වන සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන ආදී අනෙකුත් රේඛීය අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් රැසක් සූම් තාක්ෂණය ඔස්සේ මෙම සැසියට සක්‍රීයව සම්බන්ධ වීමට නියමිතය.



පසුගිය මාස 18 තුළ ප්‍රගතිය

නියෝජිත පිරිස පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය පන්නිලගේ මහතා සඳහන් කළේ, පසුගිය මාස 18 ක කාලය තුළ ආබාධිත පුද්ගලයන්ගේ සුබසාධනය, සමාන අයිතිවාසිකම් සහ ප්‍රවේශය තහවුරු කිරීම වෙනුවෙන් රජය ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගෙන ඇති බවය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ආබාධිත පුද්ගලයෙකු ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට පත් කිරීමට පියවර ගත් බව පැවසූ අමාත්‍යවරයා, අදාළ මන්ත්‍රීවරයා ආබාධිත පුද්ගලයන් පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරමින් නීති සම්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දායක වන බව පෙන්වා දුන්නේය.



සංශෝධන සහ ඉදිරි පියවර

ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති අතර යෝජිත කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

මීට අමතරව රට තුළ සංඥා භාෂාව නිල වශයෙන් පිළිගැනීමේ සංඥා භාෂා පනත් කෙටුම්පතටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අධ්‍යාපන, ප්‍රවාහන, නිවාස සහ ජල සම්පාදන ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් ඒකාබද්ධව ආබාධිත ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සහ යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට කැපවී සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem