Swipe left or right to navigate stories
අවදානම් කලාප 74ක් ඉලක්ක කර ඩෙංගු මර්දන සතියක් අද සිට ආරම්භ කරයි

අවදානම් කලාප 74ක් ඉලක්ක කර ඩෙංගු මර්දන සතියක් අද සිට ආරම්භ කරයි

පවතින කාලගුණික විපර්යාස හමුවේ ඩෙංගු කීට ඝනත්වය සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා යළිත් වසංගත තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානම මැඩපැවැත්වීමට, දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි විශේෂ ජාතික ඩෙංගු මර්දන සතියක් අද (09) සිට ආරම්භ කර තිබේ.

ලබන නොවැම්බර් 14 වැනිදා දක්වා සතියක් පුරා ක්‍රියාත්මක වන මෙම ඒකාබද්ධ මෙහෙයුම සංවිධානය කර ඇත්තේ ජාතික ඩෙංගු මර්දන ඒකකය, රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශය, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, පොලීසිය, ත්‍රිවිධ හමුදාව මෙන්ම ප්‍රජා ස්වේච්ඡා සංවිධානවල සෘජු දායකත්වයෙනි.



පාසල්, පිරිවෙන් සහ අතහැර දැමූ ඉඩම් පරීක්ෂාවට විශේෂ කණ්ඩායම්

පසුගිය සමයේ රෝගීන් වාර්තා වූ ප්‍රවණතා සහ ක්ෂේත්‍ර කීට විද්‍යා දර්ශක පදනම් කරගනිමින් හඳුනාගත් අවදානම් ප්‍රදේශවල මෙහෙයුම් කටයුතු විශේෂ මෙහෙයුම් මැදිරියක් මඟින් දෛනිකව අධීක්ෂණය කෙරේ.

එහිදී පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ ආගමික ස්ථාන ආශ්‍රිතව මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන විශේෂ පවිත්‍රතා වැඩසටහන් දියත් කිරීමට මූලිකත්වය ලබාදී තිබේ.

එමෙන්ම නගර හා ගම්මාන ආශ්‍රිතව හිමිකරුවෙකු නොමැතිව කැලෑවී ඇති හා ජලය රැඳෙන අනාරක්ෂිත පරිශ්‍ර කඩිනමින් පිරිසිදු කර මදුරු කීටයන් විනාශ කිරීමටද පියවර ගෙන ඇත.

තවද සෞඛ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායම් නිවාස හා ආයතන පරිශ්‍ර සෝදිසි කිරීම සඳහා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74 පුරාම ක්ෂේත්‍රගත කර තිබේ.



පැය 24 පුරා දත්ත අධීක්ෂණයක්

ඉදිරියේදී දරුණු ඩෙංගු වසංගතයක් ඇතිවීම වැළැක්වීම සඳහා දිවයින පුරා රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතා සහ කීට විද්‍යා දර්ශක පිළිබඳව සෞඛ්‍ය අංශ නිරන්තර සහ දැඩි අවධානයකින් පසුවන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා අවධාරණය කළේය.

තම නිවාස හා අවට පරිශ්‍රයන්හි ජලය රැඳෙන ස්ථාන සතියකට වරක්වත් පරීක්ෂා කර පිරිසිදු කරමින් මෙම ජාතික වැඩසටහනට පූර්ණ සහය ලබා දෙන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem