Swipe left or right to navigate stories
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් නිශාන්ත රණතුංගට විදෙස් ගමන් තහනමක් සමග ඇප

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් නිශාන්ත රණතුංගට විදෙස් ගමන් තහනමක් සමග ඇප

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග මහතා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (10) නියෝග කළේය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයින් සිව්දෙනෙකු සිය පෞද්ගලික පරිහරණය සඳහා අනීතිකව යොදවා ගනිමින් රජයට රුපියල් මිලියන 14කට අධික පාඩුවක් සිදුකිරීමේ දූෂණ චෝදනාව මතනිශාන්ත මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබිණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.



දැඩි කොන්දේසි සහිත ඇප සහ විදෙස් ගමන් තහනම

සැකකාර නිශාන්ත රණතුංග මහතා වෙත රුපියල් 75,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කිරීමට අධිකරණය පියවර ගත්තේය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වන තෙක් සැකකරුට විදේශගත වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින්ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග නිකුත් කළේය.



රජයේ ව්‍යාපෘති මුදලින් පෞද්ගලික සේවකයන්ට වැටුප් ගෙවීමේ චෝදනාව

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ සැකකරු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ධුරය දැරූ සමයේදී මෙම බරපතළ මූල්‍ය අවභාවිතය සිදුකර ඇති බවය.

එහිදී මණ්ඩලයේ සේවය කළ රියදුරෙකු, මිනුම් සහායකවරයෙකු මෙන්ම ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සිය පෞද්ගලික වැඩකටයුතු සඳහා ඔහු විසින් අනීතිකව යොදවාගෙන තිබේ.

අනතුරුව එම සේවකයින්ගේ වැටුප් ජල සම්පාදන මණ්ඩලයට ලැබුණු ව්‍යාපෘති අරමුදලකින් පියවීම හරහා රජයට රුපියල් මිලියන 14කට අධික අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම සැකකරුට එරෙහිව ‘දූෂණය’ යන වරද යටතේ මෙලෙස නඩු පවරා ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem