ඇද හැලෙමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ වැසි ලැබී ඇතැයිද, ඒ හේතුවෙන් මේ වන විට එම ප්රදේශවල ගංවතුර තත්වයන් හටගෙන ඇතැයිද කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ ගම්පහ දිස්ත්රික්කයේ සහ කෑගල්ල දිස්ත්රික්කය ආශ්රිතව මෙම අගයන් වාර්තා වී ඇති බවය.
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශවලටට අද දින මිලිමීටර් 100-150 ඉක්මවූ වැසි අපේක්ෂා කළ හැකි බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
වැඩිම වර්ෂාපතනය කිරිඳිවැලට
ගෙවී ගිය දිනය තුළ උපරිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්රික්කයේ කිරිඳිවැල ප්රදේශයෙන් බවත්, එය මිලිමීටර් 244 ක අගයක් ගන්නා බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (21) උදෑසන 8.30 සිට අද (22) අලුයම 4.00 දක්වා කාලය තුළ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ වර්ෂාපතන මධ්යස්ථානවලින් ලැබුණු දත්ත අනුව මෙම වාර්තාව නිකුත් කර තිබේ.
එම වාර්තාවට අනුව ගම්පහ දිස්ත්රික්කයේ වේයන්ගොඩ ප්රදේශයෙන් මිලිමීටර් 238ක වර්ෂාපතනයක් සහ කොළඹ දිස්ත්රික්කයේ අවිස්සාවෙල්ල ප්රදේශයෙන් මිලිමීටර් 230ක වර්ෂාපතනයක්ද වාර්තා වී ඇත.
ගංවතුර තත්ත්වයන්
අද දින තුළ කළු ගඟ ආශ්රිතව සහ අත්තනගලු ඔය ආශ්රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කර තිබේ.
නිවේදන නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරනු ලබන ජල මාපක දත්ත විශ්ලේෂණය අනුව රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත, කිරිඇල්ල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
තවද අත්තනගලු ඔය ද්රෝණිය තුළ නඩත්තු කරනු ලබන ජය මාපකවල ජල මට්ටම් විශ්ලොෂණය අනුව හෙට (23) උදෑසන දක්වා වූ කාලය තුළ දිවුලපිටය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල යන ප්රාදේශීය ලෝකම් කොට්ටාසවලට අයත් ප්රදේශවල පහත්බිම්වලටද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එක් නිවේදනයක සඳහන් විය.
අනතුරු ඇඟවීම
මෝසම් තත්ත්වය විටින් විට සක්රීය වීමේ හැකියාව පවතින බැවින් ඉදිරියේදීද තද වැසි අපේක්ෂා කළ හැකි බවද, වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.
ඒ අනුව ගංවතුර අවදානම් සහිත ප්රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම ප්රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් මෙන්ම මගීන්ද මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අදාළ නිවේදන මගින් දැනුවත් කර තිබේ.
තවද ගංගා නිම්න ආශ්රිතව, පහත්බිම් ආශ්රිත ජනතාව සහ නායයෑම් අනතුරු ඇඟවීම් සිදුකර ඇති ස්ථාන ආශ්රිත ජනතාව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ මගින් දැනුම් දී සිටියි.
Comments
Moderated before publishing. Your email stays private.