අධිකරණ ක්ෂේත්රයේ පැන නැඟී ඇති ව්යූහාත්මක ප්රශ්න සඳහා වහාම විසඳුම් සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බව පවසමින් විපක්ෂයේ මන්ත්රීවරුන් 20 දෙනෙකු අත්සන් කරන ලද ලිපියක් අද (23) පෙරවරුවේ කථානායකවරයා වෙත භාර දෙනු ලැබීය.
මේ සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙස විපක්ෂයේ මන්ත්රීවරුන් ඉල්ලා සිටීමත් සමඟ අද සභා ගර්භය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් සහ මතගැටුමක් හටගෙන තිබේ.
ආණ්ඩුවේ ස්ථාවරය
විපක්ෂයේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකවරයා විසින් ආණ්ඩු පක්ෂයෙන් කරුණු විමසීමේදී සභා නායක අමාත්ය බිමල් රත්නායක මහතා ප්රකාශ කළේ එම හදිසි විවාදය සඳහා ආණ්ඩුව එකඟ නොවන බවය.
කෙසේ වෙතත් අවශ්ය නම් අදාළ කරුණ සම්බන්ධයෙන් සභාවේ ඡන්දයක් විමසීමට එකඟ විය හැකි බව සභා නායකවරයා මෙහිදී සඳහන් කළේය.
ආණ්ඩුවේ මෙම තීරණයට විපක්ෂයේ මන්ත්රීවරුන් සිය දැඩි විරෝධය පළ කරමින් අදහස් දැක්වීමට පටන් ගැනීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ මතගැටුම ආරම්භ විය.
විපක්ෂය විවාදය ඉල්ලීමට හේතුව
පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වෙන අතරවාරයේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා විසින් මෙම හදිසි විවාදය කථානායකවරයාගෙන් නිල වශයෙන් ඉල්ලා සිටි අතර ඉන් අනතුරුව සභාව උණුසුම් විය.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පෙන්වා දුන්නේ, මේ වන විට විනිසුරුවරුන් 8 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවය.
එමෙන්ම විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද අර්බුදකාරී තත්ත්වයක් පැන නැඟී ඇති බැවින් මෙම බරපතළ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට වහාම විවාදයක් අවශ්ය බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Comments
Moderated before publishing. Your email stays private.